රුපියල් මිලියන 2321 ක් වටිනා හෙරොයින් නාවික හමුදා භාරයට

අගෝස්තු 31, 2021

ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් පස් දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 290 ක් සහ ග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් සහ සැකකරුවන් සහිත යාත්‍රාව අද (අගෝස්තු 31) අලුයම වෙරළට රැගෙන ආ බව වාර්තා වේ.

ලැබුණු බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව සහ අනෙකුත් බුද්ධි අංශ විසින් මෙහෙයවන ලද සම්බන්ධීකරණ බුද්ධි මෙහෙයුමක් මගින් ඊයේ ගොඩබිම බලා යාත්‍රා කරමින් තිබු මෙම බහුදින ධීවර යාත්‍රාව සෝදිසි කළ බව නාවික හමුදාව පවසයි.

මෙම බහුදින ධීවර යාත්‍රාව ජූලි මස 30 වන දින ගොඩබිමෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇතැයි සැක කෙරෙන බව නාවික හමුදාව පවසයි.

මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2321කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 ත් 37 අතර වයසේ පසුවන අහුංගල්ල, බලපිටිය සහ හබරාදුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.

එම සැකකරුවන්, හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදුකළ බව නාවික හමුදාව තහවුරු කරයි.