බෞද්ධ භික්ෂූන් සඳහා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ

අගෝස්තු 31, 2021

කොවිඩ්-19 වෛරසය අසාදනය වන භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්වූ ප්‍රථම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය යුද හමුදාව විසින් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඊයේ (අගෝස්තු 30) දින ස්ථාපිත කරන ලදී.

වෛද්‍ය උපකරණ, බෙහෙත් ගබඩා ඇතුළු සියලු වෛද්‍ය පහසුකම් සහිත කාමර 45 කින් යුත් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා 84 දෙනෙකුට එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 14 වන සේනාංකයේ භට පිරිස් විසින් සැපයුම් අංශවල සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය නිම කර ඇත.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති සහ වෑඋඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍යයේ විහාරාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවන් සිදුකරමින් පැවති මෙම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිතුමන්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ ‘ජයමග පිළිසරණ’ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂක සහභාගී විය.

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම අවස්ථාව පැවැත්විණි.