දිවි රැකුමට ලේ බිඳක්

සැප්තැම්බර් 01, 2021

දිවයිනේ ප්‍රධාන රෝහල් වල පවතින රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඊයේ (අගෝස්තු 31) දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ඒ අනුව, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරින්හි නියුතු භට පිරිස් වල දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේදී යුද හමුදා සාමාජිකයින් 270 කට වැඩි පිරිසක් තම රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ අතර නාරාහේන්පිට ජාතික ලේ බැංකුව, රාගම සහ කළුතර ප්‍රාදේශීය ලේ බැංකු වල වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ යුද හමුදා සෞඛ්‍ය අංශයේ සාමාජිකයින් කිහිප දෙනෙකුද මේ සඳහා සහභාගී වූ බව යුද හමුදාව පවසයි.

ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව යුද හමුදාව තවදුරටත් පැවසීය.