කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයට නව ශ්‍රවණාගරයක්

අගෝස්තු 06, 2019

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය (KDU) දක්‍ෂිණ මණ්ඩපයේ නවතමයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය ඉරිදා (අගෝස්තු 04) දින විවෘත කරන ලදී. නාවික හමුදා මාධ්‍යයට අනුව, මෙම නව ශ්‍රවණාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කර ඇත.

නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ විශේෂිත කුසලතාවන්, හැකියාවන් සහ තාක්‍ෂණය උපයෝගි කර ගනිමින් නිර්මාණය කර ඉදිකරන ලද මෙම ශ්‍රවණාගාරය විශාල පිරිසකට සරිලන පරිදි නව උපකරණ සහ ආසන වලින් සමන්විත වේ.

විවෘත කිරීමේ උත්සවයට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපාධිපති, ත්‍රිවිධ හමුදා නිළධාරීන් සහ උපාධි අපේක්‍ෂකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය (KDU) පළමුව රත්මලාන ප්‍රදේශයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක ඇකඩමිය ලෙස 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරන ලදී. 1988 අංක 27 දරණ සංශෝධන පනත මගින් එය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලදි. එමඟින් ආරක්‍ෂක අධ්‍යයනය සඳහා වන උපාධි සහ පශ්චාත් උපාධි පිරිනැමීම දක්වා බල ගැන්වෙයි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යනු රටේ ප්‍රමුඛතම ආරක්‍ෂක විශ්ව විද්‍යාලයයි.

සෙවනගල සුරියවැව පිහිටා ඇති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය (KDU) දක්‍ෂිණ මණ්ඩපය 2015 මැයි 05 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරන ලදී