අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවාණන්ගේ 27 වන අනුස්මරණ උත්සවය

අගෝස්තු 08, 2019

අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවාණන්ගේ 27 වන අනුස්මරණ උත්සවය අද (අගෝස්තු 08).

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව 1992 අගෝස්තු 08 වන දින යාපනයේ කයිට් හි අරාලි තුඩුවේ හමුදා පැවරුමක යෙදී සිටියදී මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිතන් කර්නල් එච් ආර් ස්ටෙපන්, ලුතිතන් කර්නල් ජී එච් ආරියරත්න, ලුතිතන් කර්නල් වයි එන් පලීපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කොමාන්ඩර් සී බී විජයපුර සහ සාමාන්‍ය සෙබළ වික්‍රමසිංහ ඩබ් ජේ ඇතුළු රණවිරුවන් සමඟ ජීවිතය කැප කළ යුධ හමුදාවේ සිටි එක් විශිෂ්ඨ හමුදා නිලධාරියෙකි.

1940 ජූලි මාසයේදී උපත ලැබූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර 1960 මැයි මාසයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණි. මෙහි මූලික හමුදා පුහුණුව අවසන් කිරීමෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා ඔහු එක්සත් රාජධානියේ කීර්තිමත් සැන්ඩර්ස්ට් රාජකීය හමුදා ඇකඩමිය (ROYAL MILITARY ACADEMY SANDHURST) බලා පිටත්ව ගියේය. ඔහු 1962 අගෝස්තු 03 වන දින දෙවන උප ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය වෙත ඇතුලත් කරන ලදී.

යුධ පිටියේ නොමැකෙන සලකුණක් තැබූ නිර්භීත හමුදා නායකයෙකු වන එතුමන් රණ වික්‍රම පදක්කම සහ වඩමාරච්චි මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් ගණනාවකින් පිදුම් ලබා ඇත. අභාවප්‍රාප්ත වීමෙන් පසු ලුතිනන් ජෙනරාල් නිළයට උසස් කරන ලද අතර විශිෂ්ඨ සේවා විභූෂනය, රණශුර පදක්කම (දෙවතාවක්), උත්තම සේවා පදක්කම සහ දේශ පුත්‍ර සම්මානය යන සම්මාන ප්‍රදානය කර ඇත. ඔහුගේ බිරිදට 2010 වසරේදී දී උත්තම පූජා ප්‍රණාම පදක්කම හිමි විය.