සඳහිරු සෑය විවෘත කිරීම නොවැම්බර් 18 වැනිදා - ආරක්‍ෂක ලේකම්

නොවැම්බර් 07, 2021

සඳහිරු සෑය 2021 නොවැම්බර් 18 වන දින බැතිමතුන්ගේ වන්දනාමනය සඳහා විවෘත කරන බවත්  එය මහා සංඝරත්නය වෙත පැවරෙන බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (නොවැ 07) පැවසීය.

“ඒ අනුව හෙට (නොවැ. 08) මෙම ස්ථූපයේ චූඩා මාණික්‍යය තැන්පත් කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර සඳහිරු සෑයේ වැඩකටයුතු වල ප්‍රගතිය නිරීක්‍ෂණය සඳහා අද දින අනුරාධපුර සඳහිරු සෑය ඉදිකිරීම් පරිශ්‍රයට පැමිණි ඔහු කියා රට වෙනුවෙන් දිවි පිදූ වූ විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ අබාධිත තත්වයට පත්වු අභීත රණවිරුවන් ද සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා චෛත්‍ය පරිශ්‍රයට පැමිණෙන බවයි.

අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 18 වෙනිදා පැවැත්වෙන ‘චූඩා මාණික්‍යය’ නිරාවරණය කිරීමේ උත්සවයට මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් පැමිණෙන බව ඔහු තවදුරටත් මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් පැවසිය.

සෑය නිමකිරීම සඳහා අවශ්‍ය ඉතිරි කටයුතු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්වරයා විසින් අදාළ ඉදිකිරීම් පාර්ශව වෙත අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදි.

Sinhala.