අන්තර්ජාතික පුහුණු සැසිය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේදී නිමාවට පත්වේ

නොවැම්බර් 27, 2021

වෙරළාරක්‍ෂකයින් සඳහා පැවති ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළිබඳ පුහුණු පාඨමාලව සහ ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් උපදේශක’ පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගියදා පැවැත්විණි.  

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (GMCP) විසින් මෙම පාඨමාලාව පවත්වන ලදි.

මෙම අන්තර්ජාතික පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සපයන ලද අතර, මෙය කලාපීය නීතිය බලාත්මක කිරීම සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ජාත්‍යන්තර පුහුණුවීම වල තවත් වැදගත් පුහුණු සැසියක් ලෙස සලකනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් පුහුණුකරුවන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ක්‍රේග් ලුන් මහතා විසින් පුහුණුව පවත්වන ලද අතර, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ පළමු ලුතිනන් එම්. හබීබ් ගේ ද සහාය ලැබුණු බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

සමාප්ති උත්සවයේදී බංගලාදේශ වෙරළාරක්‍ෂක බළකායේ නිලධාරීන් 8 දෙනෙකුට, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් 3 දෙනෙකුට සහ නාවිකයින් 5 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කළ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.