විශේෂ බලකා රෙජිමේන්තුව “රණ පරශුව” ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

අගෝස්තු 16, 2019

නව රෙජිමේන්තු මූලස්ථාන කාර්යාල සංකීර්ණය ජනපතිතුමන් විසින් විවෘත කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය මාතලේ නාවුල හිදී අද (අගෝස්තු 16) දින පැවති ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කරන “රණ පරශුව” සම්මාන ප්‍රදානය කිරීමේ උලෙළ සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.

මෙම උත්සව අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද සහභාගී විය.

අද පෙරවරුවේ උත්සව අවස්ථාව වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් වෙත මුරහල පසු කර යෑමක් සිදුකර ආචාර දක්වන ලද අතර ඉන් පසුව ජනාධිපතිතුමා විසින් එම පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී විශේෂ බලකා රෙජිමේන්තු සිදුකළ සේවය අගයමින් ජනාධිපති වර්ණ “රණ පරශුව” සහ “රෙජිමේන්තු පරශුව” සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. මානුෂීය මෙහෙයුම් හි දී ත්‍රස්තවාදීන් මව්බිමෙන් අතුගා දැමීම සදහා විශේෂ බලකාය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. වීරත්වයේ සංකේතය වන “රණ පරශුව” සම්මානය ඉතිහාසයේ ප්‍රථම වතාවට පිරිනමන ලදි.

නවතමයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු මූලස්ථාන කාර්යාල සංකීර්ණය ද උත්සවය අතරතුරදී ජනපතිතුමන් විසින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහභාගි විය.