74 වන නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

ජනවාරී 31, 2022

•       මෙවර තේමාව “අභියෝග ජයගැනීමෙන් සෞභාග්‍යමත් හෙටක් සහ සමෘද්ධිමත් මාතෘභූමියක්”
•       74 වන නිදහස් දිනය සැමරීම සඳහා රුක් රෝපණ වැඩසටහනක්
•       සර්ව ආගමික වතාවත් පවත්වනු ලැබේ
•       විශේෂ රථවාහන සැලැස්මක්
 
74 වැනි ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 04 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අද (31) දින පැවසීය.

ප්‍රධාන උත්සවයට සමගාමීව අප රට නිදහස් කර ගැනීමට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ නායකයින්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බලකායට අයත් සාමාජිකයින් 6,500කගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බවයි.

පෙබරවාරි 2 දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි නිදහස් සැමරුමට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය ක් ද පැවැත්වීමට නියමිත අතර හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පෙබරවාරි 3 දින දානමය පිංකම ද පැවැත්වෙන බව මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙවර නිදහස් සැමරුම් උත්සවය සෞඛ‍්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

එළඹෙන නිදහස් දිනය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර දිවයිනේ ආක්‍රමණශීලී ශාක වර්ග තුරන් කරමින් එම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසීය.

ජනාධිපතිවරයා විසින් ජාතික කොඩිය එසවීම, ජයමංගල ගාථා ගායනා කිරීම, මියගිය රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීම, ජනාධිපති සම්මාන මුරය, ජනාධිපතිතුමා ජාතිය ඇමතීම සහ සංස්කෘතික නැටුම් මෙදින වැඩසටහනට ඇතුළත් වන බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිදහස් දිනයේ ඉදිරි සූදානම පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ ය.

නිදහස් දින සැමරුමට සහභාගී වන භට පිරිස් ජෛව බුබුලු සංකල්පයට අනුකූලව කටයුතු කරන බව ද අනාවරණය කළ අතර මෙම උත්සවය සජීවීව විකාශය වන බැවින් ජනතාවට එය රූපවාහිනියෙන් නැරඹිය හැකි බව මෙහිදී කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ගජබාහු’ නෞකාව ගාලුමුවදොරහි දී සිය සම්ප්‍රදායානුකූල ආචාර වෙඩි මුර 25 පවත්වා මාතෘ භූමිය වෙත සිය ආචාරය දක්වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පැවසීය.

අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නිදහස් දිනයේදි ගුවන් හමුදා සහභාගීත්වය පැහැදිලි කරමින් කියා සිටියේ ගුවන් යානා 26 ක් නිදහස් දින සැමරුමට එක් කරන බවයි.

සාමාන්‍ය රථවාහන ගමනාගමනයට සහ මගීන්ට බාධාවකින් තොරව කටයුතු කිරීමට හැකිවන පරිදි පෙරහුරු සහ ප්‍රධාන උත්සවය යන දෙකම සිදු කිරීම සඳහා සකස් කර ඇති විශේෂ රථ වාහන සැලැස්ම පිළිබඳව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවේදනය කළේය.