යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද නව යුද රථයක් එළිදකී

පෙබරවාරි 01, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩීසල් බලයෙන් ක්‍රියාත්මක සිලින්ඩර හයක එන්ජින් ධාරිතාවයකින් යුතු, බිම් බෝම්බ-ප්‍රතිරෝධී, සැඟව සිට සිදුකරන පහරදීම්වලින් ආරක්ෂිත වාහනයක් නිෂ්පාදනය කර ඇත.

යුද හමුදාව විසින් භාවිතා කර ඉවත දමන ලද එන්ජින්, අබලි සහ චැසි භාවිතා කර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව රථය නිෂ්පාදනය කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කරයි.

රුපියල් මිලියන 10 ක් වන මෙම වාහනයේ නිෂ්පාදන පිරිවැය මෙවන් වාහනයක් ආනයනයට සාපේක්ෂව ඉතා අඩු මුදලකි.

12.7 මැෂින් තුවක්කුවක් සහිත සොල්දාදුවන් 9 දෙනෙකු ගමන් කල හැකි, 4x4 රෝද සහිත ධාවකයක් සහිත ඉහළ සංචලනය, වාහනයේ සවිකර ඇති සියලුම දිශා නිරීක්ෂණය කල හැකි කැමරා පද්ධතිය, දිගු දුර සන්නිවේදනය හැකියාව, දේශීයව ලබා ගත හැකි අමතර කොටස් සමඟ අඩු නඩත්තු වියදම්, අඩු නිෂ්පාදන පිරිවැය සහ වායු සමීකරණය කළ කුටිය යනාදිය මෙම නව නිෂ්පාදනයේ විශේෂාංග වේ.

මෙම නව රථය සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථ කාණ්ඩය යටතේ ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සන්නද්ධ හැකියාවන් වැඩිදියුණු කරනු ඇති අතර මෙවර නිදහස් දින පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාධිපති සහ යුද හමුදා භටකාර්ය සම්පාදන අණසක ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ගේ උපදෙස් මත සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහය ඇතිව සිදු කරන ලද බව යුද හමුදාව පවසයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඊයේ (ජනවාරි 31) ශ්‍රි ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, භටකාර්ය සම්පාදන අණසක ආඥාපති සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාධිපති සමග රථය නිරික්‍ෂණය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා මෑත වසරවල යුනිබෆල්ස් සන්නාහ සන්නද්ධ වාහන නිෂ්පාදනය කිරීම මගින් සැලකිය යුතු දායකත්වයක් යුද හමුදාව ලබා දී ඇත. දැනටමත් එවැනි වාහන 65 කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රි ලංකා යුද හමුදා භට පිරිස් යොදවා ඇති මාලි රාජ්‍යය වෙත යවා ඇති අතර එමඟින් රටට විදේශ විනිමය ඉතිරි වේ.