තවත් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා සහන සැලසේ

පෙබරවාරි 02, 2022

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දැනට පුර්ණ ආබාධිත තත්වයේ පසුවන රණවිරුවෙකු සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් මෑතකදී සායනික ඇඳක් ප්‍රදානය කර ඇත.

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දීර්ඝ කාලයක සිට ඇඳට සීමාවී සිටින රණවිරු ඒ.ජී. උපාලි කරුණාරත්න මහතා වෙත මෙම ප්‍රදානය සිදුකර ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

දිවයින පුරා විසිරී සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා වෛද්‍ය උපකරණ සහ ආබාධිත සහායක උපකරණ නිවෙස් වෙතට ප්‍රවාහනය කිරීම රණවිරු සේවා අධිකාරිය මගින් සිදුකරනු ලබන අතර, මෙම ඇඳ ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා එහි පලාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තුෂාර ජයසිංහ මහතා හා දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන යන නිලධාරීන් සහභාගි විය.

තවද, ත්‍රස්තවාදී ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව මේ වනවිට විශ්‍රාමිකව සිටින පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල් පද්මසිරි වෙත යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදුකරන ලදි.

පසුගියදා රත්නපුර ප්‍රදේශයට ඇද හැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් විනාශ වී ගිය පැරණි නිවාසය පිළිසකර කර ගැනීම වෙනුවෙන් හදිසි අපදා ආධාර ලෙස රු 100,000/= ක මුදලක් රණවිරු සේවා අධිකාරියෙන් මෙම රණවිරුවා වෙත ලබාදෙන ලදි.

මෙම මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් පළාත් නිලධාරී රෝහණ විජයරත්න, රත්නපුර දිස්ත්‍රික් නිලධාරී ගයාන් විජේවික්‍රම ද සහභාගි විය.