පෙබරවාරි 10, 2022

"විරු දෑතට කප් රුකක් " යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන රණවිරු ප්‍රජාව සදහා නොමිලේ පොල් පැල 5000ක් ලබාදීමේ සමාරම්භක වැඩසටහන පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි දොම්පේ කෑරගල රණවිරු ගම්මානයේදී පවත්වනු ලැබීය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතා සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය මාධවී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරමින් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ යුද්ධයෙන් මියගිය රණවිරු පවුල්වල ළඟම ඥාතීන් සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.

මූලිකවම කෑරගල රණවිරු ගම්මානයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව කෑරගල රණවිරු ගම්මානයේ ප්‍රජා ශාලා භූමියේ සංකේතාත්මකව පොල් පැල රෝපණය කිරීම සිදු කරන ලදී.

ඉන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අරමුණ පිළිබඳ පැහැදිලි කිරීමේ කතාවක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනිය විසින් සිදුකරන ලද අතර රණව්රු සේවා අධිකාරියේ සභාපති තුමන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රණවිරු ප්‍රජාවගේ දායකත්වය සහ එහි ප්‍රතිලාභ පිළිබඳ අවධානය යොමු කරමින් සභාව ආමන්ත්‍රණය කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් මෙම ව්‍යාපෘතිය සඳහා රණවිරු සේවා අධිකාරිය තෝරා ගැනීම සම්බන්ධයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලය වෙත සමස්ත රණව්රු ප්‍රජාව වෙනුවෙන් විශේෂ කෘතඥතාවය පළ කරන ලදී. එමෙන්ම නුදුරේදී සංසද මට්ටමෙන් මෙම ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබාදෙමින් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් එකඟ වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දොම්පේ රණවිරු සංසදයන්හි සාමාජිකයන් ඇතුළු විශේෂ ආරාධිතයන් කිහිප දෙනෙකුද සමාරම්භක වැඩසටහන සඳහා සහභාගි විය.

සංකේතාත්මකව පොල් පැල බෙදා දීමෙන් අනතුරුව, පොල් වගාව සදහා අවශ්‍ය වන මූලික දැනුමද රණවිරු ප්‍රජාවට ලබාදෙමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සංවිධානත්වයෙන් දේශනයක්ද පවත්වන ලදී.