ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය පස්වන වාර්ෂික අධ්‍යයන සැසිය අරඹයි

පෙබරවාරි 11, 2022

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ පස්වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක වැඩසටහන ඊයේ (පෙබ 10) අත්තිඩිය “Eagles' Lakeside” සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා වශයෙන් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා මෙම සැසියට සහභාගි විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ වැඩබලන යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිසාන්ත ප්‍රනාන්දු විසින් එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ නිර්මාතෘ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සරෝජ් ජයසිංහ සහභාගී විය.

හමුදා සෞඛ්‍ය සේවා සැපයීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය විද්‍යාලය, ‘Obligatory in Military Medicine - Building International Military – Civilian – Synergies.’ යන තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සාමාජිකයින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් විද්වතුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.