කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුර්කි ගුවන් යානා
කර්මාන්ත ආයතනය සමඟ සහයෝගීතාවයකට

පෙබරවාරි 14, 2022

ගගන ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳ ගවේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණ පෙරදැරිව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, තුර්කි ගුවන් යානා කර්මාන්ත ආයතනය සමඟ සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා වන සාකච්ඡාවේ මූලික වටය තුර්කියේ ශ්‍රී ලංකා තානාපති අතිගරු මොහොමඩ් රිස්වි හසන් මහතාගේ සහභාගීත්වයෙන් අද (පෙබ 14) මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලදි.
 
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා තුර්කියේ සිදුකල සංචාරයේදී ඔහුගේ මගපෙන්වීමකට අනුව තුර්කියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් මෙම සාකච්ඡාව සංවිධානය කරන ලදි.

තුර්කි ගුවන් යානා කර්මාන්ත ආයතනය යනු සැහැල්ලු ගුවන් යානා තාක්‍ෂණයේ සිට නියමුවන් රහිත ගුවන් යානා සහ චන්ද්‍රිකා දක්වා ඒකාබද්ධ අභ්‍යවකාශ පද්ධතිවල සැලසුම්, සංවර්ධනය, නවීකරණය, නිෂ්පාදනය, ඒකාබද්ධ කිරීම සහ නඩත්තුකිරිම් යන ක්ෂේත්‍ර පිළිබඳ තුර්කියේ තාක්‍ෂණ මධ්‍යස්ථානයයි.

මෙම සමාගම ගුවන් යානා සැකිලි, ගුවන් යානා, හෙලිකොප්ටර්, නියමුවන් රහිත ගුවන් යානා සහ අභ්‍යවකාශ පද්ධති පිළිබඳ වැඩසටහන් සහ ඒවායේ සැපයුම් ක්‍රමවේදයන් යන ක්ෂේත්‍රවල නිෂ්පාදන සහ සේවා සපයයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මෙම සාකච්ඡාවේ මුලසුන දැරූ අතර, තුර්කි ගුවන් යානා කර්මාන්ත ආයතනයේ අධ්‍යයන සභාපති මහාචාර්ය අහ්මද් පිනර්බාසි තුර්කි පාර්ශ්වයේ මුලසුන දැරීය.

ආසියානු කලාපයේ අලෙවි අධ්‍යක්‍ෂ ඉසෙට් අස්ලාන්, ශාස්ත්‍රීය කළමනාකරු එම්රේ යිල්මෂ්, ඉංජිනේරු අධ්‍යාපන සභාපති සෙර්හාත් ගුල්, වෘත්තීය අධ්‍යාපන ප්‍රධානී බෙරට් එම්රේ ඉලේරි සහ වෘත්තීය අධ්‍යාපන විශේෂඥ හුමෙයිරා යොල්කු යන නියෝජිතයින් සැසියේදී තුර්කි ගුවන් යානා කර්මාන්ත ආයතනය නියෝජනය කරන ලදි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පර්යේෂණ හා සංවර්ධන පීඨාධිපති, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති, ජාත්‍යන්තර සම්බන්ධතා කාර්යාලයේ අධ්‍යක්‍ෂ, ගගන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සහ ගගන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ද මේ සඳහා සහභාගි විය.