කොළඹ නාවික අභ්‍යාසය - 2022 සාර්ථකව නිමාවේ

පෙබරවාරි 16, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සිව්වන වරටත් පවත්වන ලද කොළඹ නාවික අභ්‍යාසය - 2022 (CONEX 22) පසුගියදා (පෙබ 14) සාර්ථක ලෙස නිමාවට පත් විය.

එම අභ්‍යාසය පෙබරවාරි 12 වැනිදා ආරම්භ කල බව නාවික හමුදා මාධ්‍ය සඳහන් කරන ලදී.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම අභ්‍යාසය නාවිකයන්ගේ වෘත්තීයභාවය සහ අත්දැකීම් වැඩිදියුණු කිරීමේ අරමුණින් සිදුකෙරුණු බව එහි සඳහන් වේ.

මෙහි සාමාරම්භය පෙබරවාරි මස 12 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, එම අභ්‍යාසයේ මුහුදු අධියර (Sea Phase) 13 සහ 14 යන දෙදින තුළ කොළඹට නුදුරු මුහුදේදී පැවැත්විණි.

මෙම අභ්‍යාසයේදී, ක්‍රියාන්විත අවස්ථාවක නෞකා මෙහෙයවීම, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරු කිරීම, නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ අභ්‍යාස, මුහුද මතුපිට සහ ගුවන් ඉලක්ක සඳහා දිවා හා රාත්‍රී වෙඩි තැබීමේ අභ්‍යාස, නෞකා අතර පණිවිඩ හුවමාරු කිරීමේ අභ්‍යාස ඇතුළු තවත් නාවික අභ්‍යාස රැසක් සිදු කරන ලදී.

මෙම නාවික අභ්‍යාසයේ අවසන් දින අධීක්‍ෂණය සඳහා සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත අභ්‍යාසයට සහභාගී වූ නෞකා සහ යාත්‍රා පෙළ මගින් ආචාරය පිරිනැමීමෙන් (Steam Past) අනතුරුව කොළඹ නාවික අභ්‍යාසය - 2022 සාර්ථකව නිමාවට පත්විය.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් අභ්‍යාසයේ සහායක අංගයක් ලෙස යොදවා ඇති අතර ගුවන් හා නාවික සහයෝගීතාවය සහ මෙහෙයුම් සූදානම ප්‍රදර්ශනය කරමින් අභ්‍යාස ගණනාවක් පවත්වන ලද බව ගුවන් හමුදා මාධ්‍ය සඳහන් කරයි.

කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය ආරක්‍ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම අභ්‍යාසය පැවැත්විණි.