ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් කාන්දු ප්‍රතිචාර හැකියාවන් තවදුරටත් පුළුල් කෙරේ

පෙබරවාරි 18, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ජපාන වෙරළාරක්ෂක බලකායේ ජංගම සහයෝගිතා කණ්ඩායමේ සහභාගීත්වයෙන් ඊයේ (17) කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් කාන්දු ප්‍රතිචාර අභ්‍යාසයක් පවත්වන ලදී.

මෙම අභ්‍යාසය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ 2019-2021 කාලයේ පැවති එහි II අදියරේදී සිදු කරන ලද තෙල් කාන්දු ප්‍රතිචාර කුසලතාවයන්ගේ දැනුම සහ ප්‍රායෝගික භාවිතයන් ඇගයීම කෙරෙහිය.

මෙම අභ්‍යාසය අතරතුර, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්‍රරක්‍ෂා සහ සමරක්‍ෂා යන නෞකාවල සිටි ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නිලධාරීන් ඔවුන්ගේ වෘත්තීයභාවය, හැකියාව සහ නිපුණත්වය තෙල් කාන්දුවීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා සුදුසු ලෙස ප්‍රදර්ශනය කරන ලදී.

ජපාන වෙරළාරක්ෂක බළකායෙන් ලැබුණු මෙම පුහුණුව, මුහුදේ, වරායේ සහ වෙරළබඩ ප්‍රදේශවල තෙල් කාන්දුවීම්වලට ප්‍රතිචාර දැක්වීමේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබුණු මහගු අවස්ථාවකි.

ඊට අමතරව, තෙල් කාන්දුවීම් ප්‍රතිචාර දැක්වීමේ නෞකා වල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඇති විය හැකි තෙල් කාන්දු අනතුරු වැළැක්වීම සඳහා ජපාන රජය විසින් සපයනු ලබන පහසුකම් සහ තෙල් කාන්දු ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජපාන වෙරළාරක්ෂක බලකායේ ජංගම සහයෝගිතා කණ්ඩායම විසින් පුළුල් දැනුමක් ලබාදෙන ලදී.