නාවික හමුදාව රෝගාතුර වූ ධීවරයෙකු ගොඩබිමට ගෙන එයි

පෙබරවාරි 21, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රෝගාතුර වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා අද (21) ගොඩබිමට රැගෙන එනු ලැබීය.

දිවයිනේ දකුණු මුහුදු තීරයෙන් නාවික සැතපුම් 115ක් (කිලෝමීටර් 213ක් පමණ) ඔබ්බෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක්ට මෙසේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වී ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවය පිළිබඳ පණිවිඩය ලබා දී ඇත.

තත්ත්වය සැලකිල්ලට ගනිමින් නාවික හමුදාව රෝගාතුර වූ ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇත.

මෙම රෝගියා සඳහා ගාලු වරායේදී ප්‍රථමාධාර ලබා දීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම බහුදින ධීවර යාත්‍රාව පෙබරවාරි 8 වන දින ගාල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.