ජාතික ආර්ථික ආරක්‍ෂණය තහවුරු කිරීම වැදගත් - ආරක්‍ෂ ලේකම්

පෙබරවාරි 25, 2022

‘ජාතික ආරක්‍ෂාව’ තහවුරු කිරීම යන පුළුල් සංකල්පය හුදෙක් සාම්ප්‍රදායික යුධ තර්ජන වැළැක්වීම පමණක් නොව සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක තර්ජනයන්ද මැඩපැවැත්වීම ඇතුළත්ව ඒ හා සම්බන්ධ සියලු පාර්ශවයන් සම්බන්ධ කරගෙන සිදුකරන ඉතාමත් පුළුල් ක්‍රියාදාමයක් ලෙස හැදින්විය හැකි බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (පෙබ 24) පැවසීය.
 
එමෙන්ම ජාතික ආර්ථීක ආරක්‍ෂණය හරහා ව්‍යවසායකයින්ට තම නව නිපැයුම් සඳහා අත්වැලක් විය හැකි ප්‍රතිපත්ති සැකසීමට සුදුසු පරිසරයක් සැකසීම වැදගත් බවද ඔහු පැවසීය.

ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ කර්මාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී ආචාර්ය තෙසරා ජයවර්ධන විසින් රචනා කරන ලද ‘ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක්’ ග්‍රන්ථය එළිදැක්වීම සඳහා ඊයේ අත්තිඩිය Eagles' Lakeside හි පැවති උත්සවයකදීය.

ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න සහභාගී විය.

2009 දී අවසන් වූ දශක තුනක් පුරා පැවත් ත්‍රස්තවාදයේ වේදනාකාරී මතකයන් සහ ජාතික ආර්ථික සමෘද්ධිය සඳහා සුරක්‍ෂිත රටක් තිබීමේ වැදගත්කම ගැන සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, එවකට අත්විඳින ලද අනාරක්‍ෂිත භාවය හේතුවෙන් පසුගිය කාලය තුළ රටට ආයෝජකයින් ගෙන්වා ගැනීමට සහ එහි ප්‍රතිලාභ ග්‍රහණය කර ගැනීමට රටට හැකියාවක් නොතිබූ බව සිහිපත් කලේය.

එවැනි පසුබිමක් සමඟ සසඳන විට සැමට බියෙන් තොරව නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සකස් කරමින් තිරසාර සාමයක් ගෙන ඒමට අපට හැකි වූ බව ඔහු සිහිපත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ගැටුම්වලින් පිරී තිබූ උතුරු නැගෙනහිර සහ එහි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන සංවර්ධන කටයුතු මෙන්ම සංචාරක, වරාය සහ ගුවන් තොටුපල ආශ්‍රිත කර්මාන්ත වල නව පිබිදීමක් ඇති වූ බව ද ඔහු සඳහන් කලේය.

පරිපාලන යාන්ත්‍රිකරණය තුළ සිදුවන අක්‍රමිකතා මැඩලීම, ආයෝජකයින් අධෛර්යමත් කරන කැරලි ආදිය මර්ධනය, පාතාල ක්‍රියා මැඬලීම, සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම සඳහා පොලිසියට සහය වීම රටේ ආරක්‍ෂක අංශවල විශාල වගකීමක් වන බවත් එමගින් 'ජාතික ආර්ථික ආරක්‍ෂණය‘ දියුණු කරන ශක්‍ය ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමෙන් නව ව්‍යවසායකයින් සඳහා යහපත් වාතාවරණය සැකසෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය..

කතුවරයාගේ නවතම ප්‍රකාශනය තුලින් ව්‍යපාරික කටයුතු වල නිරත වන තිුවිධ හමුදාවේ විශ්‍රාමික සාමාජිකයින් සඳහා ව්‍යපාරික මාර්ග සංවර්ධනය කිරීමට සහ නව ව්‍යවසායක අවස්ථා නිර්මාණය කිරීමට සහාය වන වෘත්තීය මාර්ගෝපදේශනයක් සපයන බවද ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

අමාත්‍යවරුන්, මහජන නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන්, මූල්‍ය, මාධ්‍ය හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ ප්‍රධානීන්, ප්‍රවීණ කලාකරුවන් සහ සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.