දීඝවාපි සෑයේ සර්වඥ ධාතූන් වහන්සේ සහිත පෙරහැර
අද ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටත් විය

මාර්තු 02, 2022

දීඝවාපි සෑයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය රැගත් පෙරහැර අද (මාර්තු 02) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත් විය.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ සිව්වැනි ගුණානුස්මරණ උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම ආගමික උත්සවයට පැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් සර්වඥ ධාතූන් වහන්සේලා වාහනයක් තුල නිර්මාණය කරන ලද අලංකාරවත් මණ්ඩපයක තැන්පත් කළේය.

ආගමික වතාවත් පැවැත්වීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

දහවල් බුද්ධ පූජාව සඳහා පෙරහැර පස්යාල, මුරුතවෙල ධර්මචක්ඛාරාම විහාරස්ථානය වෙත ළඟා වන අතර, එය අද සවස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ළඟා වීමට නියමිතයි.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ආගමික පෙරහැර අවසානයේදී සර්වඥ ධාතූන් වහන්සේලා මාර්තු 06 වැනි දින දීඝවාපි සෑ ඝර්භයේ තැන්පත් කරන අතර, සෑයේ ඉදිකිරීම් කටයුතු අවසන් වනතුරු චූඩා මාණික්‍යය දීඝවාපි විහාර පරිශ්‍රයේ තැන්පත් කිරීමට නියමිතය.