නික්මයන ජපාන ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුලි 07, 2022
  • ජෙනරල් ගුණරත්න නව ජපාන ආරක්ෂක උපදේශක ද පිළිගනී

කොළඹ ජපන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ගකු ෆුකෞරා (Captain Gaku Fukaura) මෙරට තම නිල කාලසීමාවෙන් පසු නික්මයාමට ප්‍රථම අද (ජුලි 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක ලේකම් විසින් කපිතාන් ෆුකෞරා සහ එම ධූරය සඳහා අලුතින් පැමිණි කපිතාන් යුකි යොකොහාරි (YUUKI Yokohari) ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම සුහද හමුව අතරතුර, කපිතාන් ෆුකෞරා තම ධූර කාලය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදුන් සහයෝගිතාව පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

මේ අතර, දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කළ ජෙනරල් ගුණරත්න, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සහ ආරක්ෂක සේනා මූලස්ථාන සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව කපිතාන් ෆුකෞරා වෙත සිය ස්තූතිය පුද කළේය.

තවද, ආරක්‍ෂක ලේකම් විසින් නික්ම යන ආරක්‍ෂක උපදේශක වෙත ඔහුගේ හමුදා දිවියේ සාර්ථක අනාගතයක් සඳහා සිය සුබ පැතුම් ද එක කරන ලදී.

අද පෙරවරුවේ පැවති මෙම සුහද හමුවෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුකර ගැනීමද සිදු විය.

ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.