යුද හමුදාවේ මුලිකත්වයෙන් හම්බන්තොට රෝහලට වෛද්‍ය උපකරණ

ජුලි 15, 2022

හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් වෛද්‍ය උපකරණ තොගයක් හම්බන්තොට රජයේ රෝහලට පසුගියදා ලබා දෙන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘PIMA UAE’ ආයතනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙම පරිත්‍යාගය සඳහා අනුග්‍රහය දැක්වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග බස්නායක මහතා වෙත සංකේතාත්මකව එම වෛද්‍ය උපකරණ තොගය රෝහල් පරිශ්‍රයේදී භාර දුන් බව යුද හමුදාව පවසයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හම්බන්තොට රෝහලේ පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්විය.