වැඩබලන ජනාධිපති පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජුලි 15, 2022

වැඩබලන ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (ජුලි 15) කොළඹ යුද හමුදා රෝහල වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.

පසුගිය බදාදා ( ජූලි 13 ) පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී විරෝධතාකරුවන්ගේ පහරදීම් හේතුවෙන් තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබන යුද හමුදා සෙබළුන් පිලිබඳව මෙහිදී වික්‍රමසිංහ මැතිතුමාගේ අවධානයට යොමුවිය.

මෙහිදී වික්‍රමසිංහ මැතිතුමා, ප්‍රතිකාර ලබන සෙබළුන් සමඟ අදහස් කිහිපයක් හුවමාරු කර ගත් අතර තම දිවි පරදුවට තබමින් තත්වය පාලනය කර උත්තරීතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු  කිරීම ගැන ඔවුනට ප්‍රසංසා කරන ලදී.

තවද මෙම සෙබළුන් සඳහා වෛද්‍ය පහසුකම් ඇතුළු සුභසාධන කටයුතු කඩිනමින් ලබාදීමට කටයතු කරන ලෙස වැඩබලන ජනාධිපතිතුමන්, යුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු වෙත උපදෙස් ලබාදෙන ලදී.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ( ජූලි 15 ) දින වැඩබලන ජනාධිපති ලෙස පත්වීමෙන් පසු සිදු කරන ලද පළමු සංචාරය මෙම යුද හමුදා රෝහලේ සංචාරය වේ.

යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ, යුද හමුදා රෝහලේ පරිපාලන, නඩත්තු සහ කළමනාකරණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා සහ යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් සමන්ත කුමාරගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.