උතුරු මුහුදු තීරයේදී ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ජුලි 19, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 18) කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී පාවෙමින් තිබූ කිලෝ 30ක පමණ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වන ධීවර යාත්‍රා පළවා හැරීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී කච්චතිව් දූපත අසල පාවෙමින් තිබූ පාර්සල් 09 ක අසුරන ලද මෙම කේරළ ගංජා (තෙත බර සහිත) තොගය අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවේ පැමිණීම දැක ජාවාරම්කරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අතහැර දමා පලා ගොස් ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 9ක් පමණ වන අතර ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන බව නාවික හමුදාව සඳහන් කළේය.