නීති විරෝධී මෝර කොටස් තොගයක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ජුලි 21, 2022

නීති විරෝධී ලෙස ලබාගත් මෝරුන්ගේ මස් තොගයක්,වියලන ලද මෝර වරල් සහ මසුන් ළඟ තබාගෙන සිටි ධීවරයින් 14 දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

ධීවර කටයුතු වලින් පසු ආපසු යමින් සිටි මෙම ධීවර යාත්‍රාවල තිබී සම්පුර්ණ බර කිලෝ 214ක් පමණ  කස මෝරුන් 7ක්, වරල් රහිත මෝර මස් කිලෝ 234ක්, වියළි මෝර වරල් කිලෝ 3.8ක් සහ කිලෝ 112ක් පමණ බරැති වියලන ලද මෝර කොටස් මෙලෙස අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ බේරුවල සහ දික්ඕවිට ධීවර වරායන් හි ධීවර නිරීක්ෂණ සහ නියාමනය කිරීමේ රාජකාරි කාර්ය මණ්ඩලයට ලැබුණු තොරතුරක් මත මෙම භාණ්ඩ අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

ඕනෑම මෝර විශේෂයක කොටස් රඳවා තබාගැනීම, ප්‍රති නැව්ගත කිරීම හෝ ගොඩබෑම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල සහ දික්ඕවිට ධීවර පරීක්ෂකවරුන් වෙත භාර දීමට කටයුතු කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.