හරිත ගොවිතැනේ මංගල අස්වැන්න නැගෙනහිරින්

ජුලි 21, 2022

නැගෙනහිර කලාපයේ කාබනික වී වගා කිරීමේ ව්‍යාපෘතියකින් වී කිලෝග්‍රෑම් 1750ක අස්වැන්නක් ලැබී ඇත. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 22 වන සේනාංකය යටතේ ඇති 223 බලසේනාවේ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් මයිලවැව ප්‍රදේශයේ අක්කර 1.5 ක ඉඩමක මෙම වී වගා කිරීමේ කටයුතු සිදුකර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන ලද මෙම වී වගවේ මංගල අස්වැන්න නෙලා ගැනීම සඳහා පසුගිය සෙනසුරාදා (ජුලි 16) භට පිරිස් විසින් සම්ප්‍රදායික අස්වනු නෙලීමේ උත්සවයක් පවත්වනු ලැබු බව එහි සඳහන් වේ.

රජයේ හරිත කෘෂිකාර්මික ව්‍යාපෘතියට සමගාමීව යුද හමුදා භට පිරිස් විසින් මේ වසරේ අප්‍රේල් මාසයේදී අතහැර දැමූ මෙම ඉඩම් අක්කර 1.5 ක කුඹුර අස්වද්දන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.