මහජන මුදලින් නඩත්තු කරන වත්කම්වලට වගකියන්න – ආරක්‍ෂක ලේකම්

ජුලි 23, 2022

•        නාවික හමුදාවේ විසිර යාමේ පෙළපාලිය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී

රජය තම ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරතුරුවම රටේ ආරක්‍ෂාව සඳහා වෙන් කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන බැවින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද මහජන මුදලින් නඩත්තු වන ඔබේ සම්පත් සඳහා වගවීම ඔබේ වගකීම බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (ජූලි 22) ප්‍රකාශ කළේය.

තම වෘත්තීය තුල වඩා ඉහළට ළඟා වන තරමට ඔබ වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට සූදානම් විය යුතු බවද ඔහු පැවසීය.

ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති නාවික හමුදා නව නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය ද එක්ව සිටියාය.

නව තරුණ නිලධාරීන් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සැමවිටම නාවික හමුදාව සතු වල වගකීම හිමි ඔබව අප නිරතුරුව විශ්වාස කරන අතර එම සම්පත් දිගු කාලීනව ආරක්ෂා කර ගනිමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතා කිරීමට ඔබ සහතික විය යුතු බවයි.

ත්‍රිකුණාමලය වරාය නගරය ආශ්‍රිතව පිහිටි නාවික හමුදාවේ විශිෂ්ඨ පුහුණු හා අධ්‍යාපන ආයතනය වෙත පැමිණි ජෙනරල් ගුණරත්න නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හා සගරික විද්‍යාපීඨයේ සේනාවිධායක කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු විසින් පිළිගන්නා ලදී.

අනතුරුව දීර්ඝ කාලයක සිට පැවතෙන නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත උත්සවාකාරයෙන් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. වර්ණවත් රාත්‍රී විසිර යාමේ පෙළපාළියේදී නව නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කරන ලදී.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම උත්සවයේදී නව නාවික නිලධාරීන් තම දෙමාපියන්ගේ සහ සම්භාවනීය අමුත්තන්ගේ ආශිර්වාද  මධ්‍යයේ විදයාපිඨ  ප්‍රධාන සරඹ භූමියෙන් පිටත්ව යන ලදී.

අධිකාරි ලත් නව නිලධාරීන් කණ්ඩායම ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 35 වැනි (තාක්ෂණික) බඳවා ගැනීමේ  පාඨමාලාවේ  මධ්‍ය නිලධාරීන් 11 දෙනෙකුගෙන් සහ 36 වන බඳවා ගැනීමේ  පාඨමාලාවේ මධ්‍ය නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම නිළධාරින්ගේ විශිෂ්ඨ දස්කම් අගයමින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් විශේෂ සම්මාන ප්‍රදානය කිරීම ද මෙම උත්සවයේදි සිදුවිය.

ඒ අනුව, 35 වන පාඨමාලාවේ හොඳම තාක්ෂණික නිලධාරියා ලෙස මධ්‍ය නිලධාරී එච්ඒඑස්වී හපුආරච්චි තේරී පත් විය.

මේ අතර පාඨමාලා අංක 36 හි අයිඑස් වීරසිංහ හොඳම මධ්‍ය නිලධාරී ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහුට හිමි විය. වෘත්තීය සහ සමස්ත විෂයයන් දෙකෙන්ම ඉහළම සමස්ථයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මධ්‍ය නිලධාරී එස්එන් අබේවර්ණ සම්මාන දෙකක් ලබා ගත්තේය. බඳවා ගැනීමේ දක්ෂතම වෙඩ්ක්කරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ආර්පීපීඑස් රාජපක්ෂ විසින් දිනා ගන්නා ලදී.

තම හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු සාම්ප්‍රදායිකව තරුණ නිලධාරීන් අභිමානයෙන් වැඩබලන උප ලුතිනන් තනතුරට උසස් කරනු ලබන අතර, සන්නද්ධ හමුදා සේනාධිනායකයා විසින් නම් කරනු ලබන කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු විසින් වර්ණවත් උත්සවයකදී ඔවුන් වෙත අධිකාරිය සඳහා වන අසිපත්  ප්‍රදානය කරනු ලැබේ.

නාවික හමුදාවේ නව නායකයින් අමතා වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, ජාතිය කෙරෙහි ඔබේ පක්ෂපාතිත්වය කිසි විටෙකත් ප්‍රශ්න කිරීමට ලක් නොකළ යුතු අතර සිවිල් නීතියට අමතරව නාවික හමුදා පනතට අනුව ඔබ ඉටු කිරීමට බැඳී සිටින නීති රීතිවලට ගරු කිරීම අනිවාර්ය වන බවයි.

දශක තුනක කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී නාවික හමුදාවේ දායකත්වය ප්‍රශංසනීය බව සිහිපත් කළ ඔහු, අලුතින් පත් වූ නිලධාරීන් ඔවුන්ගේ පූර්වගාමීන්ගේ විශිෂ්ඨත්වය ආරක්‍ෂා කරනු ඇති බවත් ජාතියේ ආරක්‍ෂාව සහ ස්වෛරීභාවය සහතික කිරීම සහ ඉන්දියානු සාගර කලාපයේ රට මුහුණ දෙන සාම්ප්‍රදායික නොවන අභියෝග වන පුද්ගල ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, වෙනත් ජාත්‍යන්තර අපරාධ සහ ස්වාභාවික විපත් වැනි බොහෝ තර්ජන මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, නැඟෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී,නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ආරක්‍ෂක උපදේශකවරුන් සහ මිත්‍ර විදේශ රටවල නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයන් සහ අධිකාරියට පත් නිලධාරීන්ගේ ඥාතීන් ද මෙම වර්ණවත් රාත්‍රිය නැරඹීම සඳහා පැමිණ සිටියහ.