ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නෞකාව අධිකාරියට
පත්කිරීම ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ජුලි 23, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ජයසාගර නෞකාව අද (2022 ජූලි 23) ත්‍රිකුණාමලය නැව් තටාකාංගණයේදී අධිකාරියට පත් කරන ලදී.

නාවික සම්ප්‍රදායන්ට අනුකූලව අද පෙරවරුවේ පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ජයසාගර නෞකාව අධිකාරියට පත් කරන ලදී.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ජෙනරල් ගුණරත්න පිළිගත් අතර වෙරළාරක්ෂක නිලධාරීන් විසින් එහිදී ගෞරව සම්මාන මුරයක් ද පිරිනමන ලදී. මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය ද එක්ව සිටියාය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් නෞකාවේ අණදෙන නිලධාරියා වෙත අධිකාරියට පත්කිරීමේ නියෝගය නිල වශයෙන් භාරදීම සහ අනතුරුව එය කියවීමද සිදුවිය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමඟ ආරක්‍ෂක ලේකම්වරයා මෙම නෞකාවට ගොඩවී මහා සංඝරත්නය සහ සෙසු ආගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේ නෞකාවේ ලාංඡනය සහ නාමපුවරුව නිරාවරණය කළේය.

පසුව, ජෙනරල් ගුණරත්න වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නව නෞකාව වන ජයසාගර නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් එහි උපකරණ, පහසුකම් සහ මෙහෙයුම් අංශ පිළිබඳව ඔහු දැනුවත් කරන ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ජෙනරල් ගුණරත්න වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර ජෙනරල් ගුණරත්න විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

දිගින් මීටර් 39.8ක් වන මෙම නෞකාවේ පළල මීටර් 7ක් වන අතර එහි බර ටොන් 313කි. නොට්ස් හතක උපරිම වේගයකින් නාවික සැතපුම් 3200ක් යාත්‍රා කළ හැකි මෙම නෞකාව නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලය 78 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම වසරේ ජනවාරි මස 03 දින වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව තිබු මෙම නෞකාව ත්‍රස්තවාදීන් සමග ගැටුම් වලදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

සම්ප්‍රදායිකව, නැව් අධිකාරිත්වයට පත් කරනු ලබන්නේ සන්නද්ධ හමුදා ප්‍රධානීයා වන රාජ්‍ය නායකයා විසින් නම් කරන ලද කීර්තිමත් නිලධාරියෙකු විසිනි.

වෙරළ ආරක්ෂක කටයුතු සඳහා සරිලන පරිදි ප්‍රතිසංස්කරණය කර ඇති මෙම නෞකාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී නව කාර්යභාරයක් භාර ගනිමින් ජාතියට මහත් සේවයක් ඉටු කරනු ඇත.

අද දින උත්සවය සඳහා පැමිණීමට පෙර ජෙනරල් ගුණරත්න නාවික හමුදාපති සහ නැගෙනහිර නාවික ආඥාපති සමඟින් තටාකාංගණයේ පිහිටි නාවික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ගෞරවය පුද කරන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ආගමික නායකයින්, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල නිලධාරීහු ද සහභාගි වූහ.