නික්ම යන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා
ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 29, 2022

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා අද (ජුලි 29) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මහ කොමසාරිස්වරයා ජෙනරල් ගුණරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.

මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම් අතර පැවති සුහද හමුවේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සිය ධුර කාලය තුළදී ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව ආරක්‍ෂක ලේකම්වරයාට වෙත පළ කළේය.

මේ අතර, ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සහ එහි කාර්ය මණ්ඩලය වෙත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් ලබාදුන් සහයෝගය පිළිබඳව ද ජෙනරල් ගුණරත්න සිය ස්තූතිය පළ කළ අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ ඔහුගේ සහාය ද අගය කළේය.

එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදි.