යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවට යුද සහ නාවික හමුදා සහාය

අගෝස්තු 01, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ඔවුන්ගේ ප්‍රජා සුභසාධන සේවා තවදුරටත් සිදුකරමින් යාපනයේ සිට කතරගම දක්වා පාද වන්දනාවේ (පාද යාත්‍රා) යෙදෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, කුමණ ජාතික වනෝද්‍යාන පිවිසුමේ සිට කුඹුක්කන් ඔය දක්වා විහිදෙන අඩිපාර දිගේ ගමන් කරන වන්දනාකරුවන් සඳහා වෛද්‍ය සහ ජීවිතාරක්ෂක සේවා නාවික හමුදාව විසින් සපයනු ලැබේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මගපෙන්වීම මත ගිනිකොනදිග නාවික ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් වන්දනාකරුවන් වෙත පහසුකම් සැලසීම සඳහා ප්‍රදේශයේ සේවයේ නියුතු නාවික පුද්ගලයින් යෙදවීමට කටයුතු කරන ලදී.

මේ වනවිට කුමණ සිට කුඹුක්කන්ඔය දක්වා ගමන් කරන වන්දනාකරුවන් දහස් ගණනකට පහසුකම් සලසා ඇති බව නාවික හමුදාව පවසයි.

කුමණ ජාතික වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගය පාද වන්දනාව සඳහා අගෝස්තු 05 දක්වා විවෘතව පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

මේ අතර, යුද හමුදාව විසින් මෙම වන්දනාකරුවන්ට ඔවුන්ගේ වාර්ෂික වන්දනා චාරිකාව සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දී ඇත. ඒ අනුව මධ්‍යම ආරක්‍ෂක සේනාවට අයත් 12 වන සේනාංකයේ 122 බලසේනාවේ සහ 23 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිසූ ආහාර, පානීය ජලය, වෛද්‍ය පහසුකම් සහ විවේක ගැනීම සඳහා තාවකාලික නවාතැන් පහසුකම් ද ලබා දීමට කටයුතු කරන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ගේ අධීක්‍ෂණය යටතේ යුද හමුදා භට පිරිස් මෙම පහසුකම් සලසා ඇත.

කොවිඩ්-19 සීමා කිරීම් හේතුවෙන් වසර තුනකට පසු යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල් සහ අම්පාර යන ප්‍රදේශවලින් විශාල වන්දනාකරුවන් පිරිසක් මෙවර මෙම වාර්ෂික වන්දනාවේ යෙදී සිටිති.