රණවිරු පවුල් දෙකක් සදහා ඉඩම් ලබා දෙයි

අගෝස්තු 01, 2022

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී 2022 අගෝස්තු මස 1 වන දින පවත්වන ලදී.

මේ සඳහා මීරිගම ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන විනීතා වික්‍රමාරච්චි මහත්මිය විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 10 ක ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ ආබාධිත රණවිරුවකු වන එච්.ඩබ්ලිව් කුමාරසිරි මහතා වෙත ලබා දීම සිදු කරන ලදී.

තවද කඩුවෙල ප්‍රාදේශීය සභාව මගින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 6.70 ක ඉඩම් කැබැල්ල තාවකාලික බලපත්‍රයක් මගින් පදිංචිය සඳහා රණක්ෂිතයට පත් යුද හමුදාවේ රණවිරු ඩී.එම්.එස් කුමාරසිරි මහතා වෙත ලබා දීම සිදු කරන ලදී.

මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඉහත සඳහන් රණවිරු පවුල් දෙක සඳහා ඔප්පු අත්සන් කිරීම සහ තාවකාලික බලපත්‍රය පිරිනැමීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් කීප දෙනෙකු මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.