නායයෑම් හේතුවෙන් පීඩාවට පත් තවලම්තැන්න ප්‍රදේශයේ ජනතාවට යුද හමුදාව සහන සපයයි

අගෝස්තු 02, 2022
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට අනතුරු අඟවයි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා යුද හමුදා 1 වන බලකායේ 58 වන සේනාංකයට අයත් 581 බලසේනාවේ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඊයේ (1) කටයුතු කරන ලදී.

ඒ අනුව, කොත්මලේ නව නගරයට නුදුරින් මාකඳුර, තවලම්තැන්නේ රන්වන්තැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් විපතට පත් සිවිල් වැසියන් 120කට අධික පිරිසක් මුදා ගැනීමට ඔවුන් සමත් විය.

නායයෑම නිසා පස් කඳු කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගය අවහිර වූ අතර මාර්ගයේ ගමන්කිරීමට නොහැකිව අසරණ වූ ජනතාව සඳහා ආරක්ෂිතව ගමන් කිරීමට යුද හමුදා භට පිරිස් විසින් පහසුකම් සැලසූ අතර වාහන ගමනාගමනය යථා තත්වයට පත්කරමින් අවහිරය ඉවත් කිරීමටද කටයුතු කරන ලදී.

මේ අතර නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ බස්නාහිර, දකුණු මුහුදේ සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ (මීටර් 3.0 - 3.5 පමණ) වැඩිවීමේ හැකියාවක් පවතින බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසත් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ තීරයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු නාවික කටයුතුවල නොයෙදෙන ලෙසත් අනතුරු ඇඟවීය.