නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට ගත් උත්සාහයක් නාවික හමුදාව මගින් ව්‍යර්ථ කෙරේ

අගෝස්තු 02, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙන්නප්පුව පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී වෙන්නප්පුවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 47 දෙනෙකු පසුගියදා (31) අත්අඩංගුවට ගෙන ඇත.

වෙන්නප්පුව ප්‍රදේශයේදී සැකකටයුතු වාහන තුනක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම නීතිවිරෝධී ජාවාරමට සම්බන්ධ වාහන සමඟ පිරිමි පුද්ගලයින් 37 දෙනෙකු, කාන්තාවන් හය දෙනෙකු සහ නව යොවුන් වියේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය, කල්මුණේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් වෙන්නප්පුව පොලිසිය වෙත භාරදුන් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

ජාවාරම්කරුවන් මෙවැනි නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම් සංවිධානය කරන්නේ මුදල් ඉපැයීම සඳහා බවත්, එබැවින් අවදානම් මුහුදු ගමන්වල යෙදීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.