නාවික හමුදාව ගිං ගඟේ සිරවී ඇති සුන්බුන් ඉවත් කරයි

අගෝස්තු 05, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිං ගඟේ ජල ප්‍රවාහය ක්‍රමවත්ව පවත්වාගැනීමේ අරමුණින් අගලිය සහ දොඩංගොඩ පාලම් යට සිරවී තිබූ සුන්බුන් පසුගියදා (අගෝස්තු 03) ඉවත් කරන ලදී.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ප්‍රවාහයත් සමග පාලම් යට සිරවී ඇති අපද්‍රව්‍ය හේතුවෙන් අවට පහත් බිම්වලට ගංවතුර ඇතිවීමේ අවධානමක් ඇතිවිය.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගං ඉවුරේ ඇති දැව කඳන් සහ අනෙකුත් අපද්‍රව්‍ය ගසාගෙන ගොස් පහත් ප්‍රදේශ වල පටු පාලම් යට ඒවා සිරවී තිබු බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දක්ෂිණ නාවික විධානයේ කිමිදුම් කණ්ඩායම් යෙදවීමෙන් එම අවහිරතා දෙකක් ඉවත් කරන ලදී.

ගිංතොටින් මුහුදට ගලා බසින ගිං ගඟ හරහා ඇති වක්වැල්ල, අගලිය සහ දොඩංගොඩ පටු පාලම් යට එකතුවන අපද්‍රව්‍ය ඉවත්කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.