ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතන නිලධාරීන්හට
දේශනයක් පවත්වයි

අගෝස්තු 10, 2022

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 10) දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දී කාලීනව වැදගත් මාතෘකාවක් පිළිබඳව හරවත් දේශනයක් පැවැත්වීය.

‘ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක උපාය මාර්ග තීරණ ගැනීමේ ව්‍යූහය’ මැයෙන් ජෙනරල් ගුණරත්න විසින් පවත්වන ලද මෙම දේශනයේදී ජාතික ආරක්‍ෂක අංශවල විවිධ පැතිකඩයන් පිළිබඳව දැනුම පුළුල් කර ගැනීමට දේශණයට සහභාගී වූ නිලධාරීන්ට හැකි විය.

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා ප්‍රතිපත්ති උපදේශන සහ ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ ඔවුන්ගේ උපාය මාර්ගික බුද්ධිමය ධාරිතාව පුළුල් කිරීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යාපන ආයතනය ලෙස 2021 නොවැම්බර් 11 වන දින ජාතික ආරක්‍ෂක විද්‍යායතනය ආරම්භ කරන ලදි.

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර ගේ ආරාධනයෙන් ජෙනරල් ගුණරත්න විසින් දේශනය පවත්වන ලද අතර, එම ස්ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක අතර සමරු තිළිණ හුවමාරුවක් ද දේශනය අවසානයේ සිදුවිය.