පාකිස්තාන නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

අගෝස්තු 12, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (අගෝස්තු 12) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි පාකිස්තාන නාවික හමුදාවට අයත් PNS Taimur නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබීය.

කාර්ය මණ්ඩලය 169 දෙනෙකුගෙන් සමන්විත මීටර් 134 ක් දිග මෙම නෞකාව අගෝස්තු 15 දක්වා දිවයිනේ රැඳී සිටීමට අපේක්ෂා කරන අතර නාවික හමුදා දෙක අතර සහයෝගීතාවය සහ සුහදතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

තවද, PNS Taimur මෙරට බටහිර මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.