අතීතයේ මෙන් නොව, ජාතික ආරක්‍ෂාවට වැඩි අවධානයක් අවශ්‍යයි - ආරක්‍ෂක ලේකම්

අගෝස්තු 17, 2022
  • අතලඟ ඇති තර්ජනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ඉතා අවධානයෙන් සිටිය යුතුයි

නිදහසින් පසු රටේ ඉතිහාසය තුළ මෙන් නොව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සඳහා වැඩි අවධානයක් අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 17) පැවසීය.

අතලඟ ඇති සියලු තර්ජනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව කල්පනාවෙන් යුක්තව කටයුතු කල යුතු බවද ඔහු අවධාරණය කළේය.

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2022 හි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ, මෙය විශාල ඉදිරි පිම්මක් බවත්, තිරසාර සාමය සහ ආරක්‍ෂාව සහතික කිරීමට රට ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ විද්වතුන් නිසැකවම දායක වනු ඇති බවත්ය.

මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජෙනරල් ගුණරත්න සහ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ ලලිත් වීරතුංග මහතා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

ආරක්‍ෂක ක්ෂේත්‍රයේ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ ජාතික ආරක්‍ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයන විෂයයට අදාළ පර්යේෂණ හා අදහස් ගවේෂණය කිරීමට පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය විසින් ආරම්භ කරන ලද මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයේ සමාරම්භක සම්මන්ත්‍රණය වන මෙය, 'Multinodal Security Dynamics' යන තේමාව යටතේ ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රටේ පුරවැසියන්, ආර්ථිකය සහ අනෙකුත් ආයතන ආරක්‍ෂා කිරීම සඳහා රටක රජයට ඇති හැකියාව ජාතික ආරක්‍ෂාව ලෙස අර්ථකථනය කළ ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ, ආර්ථික ආරක්‍ෂාව, දේශපාලනික ආරක්‍ෂාව, බලශක්ති ආරක්‍ෂාව, භූමියේ ආරක්‍ෂාව, සයිබර් ආරක්‍ෂාව, මානව ආරක්‍ෂාව සහ පාරිසරික ආරක්‍ෂාව ආදී පුළුල් ක්ෂේත්‍රයන් යුදමය නොවන වර්තමාන සන්දර්භය තුළ ආරක්‍ෂක විෂය පථයට ඇතුලත් බවයි.

රාජ්‍ය තාන්ත්‍රික බව, දේශපාලන, ආර්ථික සහ යුද බලය ඇතුළු ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රජයන් විසින් භාවිතා කරන විවිධ උපක්‍රම පිළිබඳව තවදුරටත් පෙන්වා දෙමින් ඔහු පැවසුවේ, එය සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත් වී ඇති අතර, බාහිර ආක්‍රමණවලින් මෙන්ම අභ්‍යන්තර කැරලිවලින් රට ආරක්‍ෂා කිරීමේදී ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමේ කේන්ද්‍රගත ප්‍රවේශය, 20 වැනි සියවසේ අගභාගයේ සිදුවූ සංසිද්ධියක් වන පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහ ආරක්‍ෂාව පිළිබඳ වඩාත් ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් වෙත යොමු වි ඇති බවයි.

‘ජාතික ආරක්‍ෂාව’ සහ ‘මානව ආරක්‍ෂාව’ අතර සංකල්පීය වර්ධනයන් සහ වෙනස උපුටා දක්වමින් ජෙනරල් ගුණරත්න රටේ ස්ථාවරත්වය පිළිබඳව සඳහන් කළේ, අද ජාතික ආරක්‍ෂක ගතිකත්වයට ගෝලීය වසංගත කළමනාකරණය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම, පිරිසිදු ජලය හා ආහාර සැපයුම් පවත්වා ගැනීම, පුද්ගල සහ ප්‍රජා දේපළ ආරක්‍ෂා කිරීම, ආර්ථික හා දේශපාලන ගැටලු තත්වයන් සමඟ කටයුතු කිරීම මෙන්ම ජාත්‍යන්තර ක්‍රියාකාරීන් ගණනාවකගේ බලපෑම මත රාජ්‍ය ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමේ හැකියාව විශ්වාසවන්තව පවත්වාගෙන යාම ඇතුළත් වන බවයි.

ශ්‍රී ලංකාව ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද ක්‍රමවේදයන්ට ගොදුරු වීමේ අවදානමක් සහිත වන අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ යාම සහ කාලගුණ විෂමතා, සාගර දූෂණය වැඩිවීම සහ සාගර පරිසර පද්ධති කෙරෙහි බලපෑම, ක්ෂය වූ ධීවර කර්මාන්තය, සාගර උෂ්ණත්වය සහ ලවණතාව ඉහළ යාම, ඉන්දියන් සාගරයේ ගැටලු ඇති කරන ස්වභාවික ගැටලු ලෙස ඉන්දියන් සාගරය තුල ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට දැඩි බලපෑමක් ඇති කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන දේශනය පවත්වමින් වීරතුංග මහතා ප්‍රකාශ කළේ නවීන ආරක්‍ෂක ක්‍රම සහ ආරක්‍ෂක පද්ධති වත්මන් හමුදා තර්ජන සඳහා පමණක් නොව හමුදා නොවන තර්ජන සඳහා ද සන්නද්ධ කිරීමට අපේක්‍ෂා කරන බවයි.

ඵලදායී සැසි තුනකින් යුතු වූ මෙම වැඩසටහන ආරම්භයේදී පිළිගැනීමේ කතාව ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් කරුණාසේකර විසින් පවත්වන ලදි.

විද්වතුන්, හමුදා ප්‍රධානීන් සහ පොලිස් නිලධාරීන් අතර සම්බන්ධිකරණය පෝෂණය කිරීමටත් වර්තමාන ආරක්‍ෂක ගැටළු හා සම්බන්ධ ශාස්ත්‍රීය සංකල්ප හුවමාරු කර ගැනීමටත් මේ ආකාරයේ පර්යේෂණ සම්මන්ත්‍රණ හොදම තෝතැන්නකි.

මෙහිදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශක ලලිත් වීරතුංග මහතා වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ද සිදුවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, මිත්‍ර විදේශ රටවල ආරක්‍ෂක උපදේශකවරු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, කීර්තිමත් විද්වතුන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, පාඨමාලා හදාරන නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වූහ.