‘Save the Children in Sri Lanka’ සංවිධානයෙහි නියෝජිතයින් සහ
තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය අතර හමුවක්

අගෝස්තු 18, 2022

පුද්ගල ජාවාරමට එරෙහිව සටන් කිරීමට සහ වැඩි බලපෑමක් ඇති කිරීමට රජයේ සහ සිවිල් සමාජ සංවිධානවල හැකියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘Save the Children’ සංවිධානයේ නියෝජිතයින් සහ තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (National Anti-Human Trafficking Task Force) අතර රැස්වීමක් ඊයේ (අගෝස්තු 17) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති වන ආරක්ෂක ලේකම් වෙනුවෙන් ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) මෙහි මුලසුන දරන ලද අතර තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වන ළමා ආරක්ෂණ සහ ළමා අයිතිවාසිකම් ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක බුද්ධිනී විතාන මහත්මිය සහ ‘Save the Children’ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී සුෂේතා ගොපල්ලව මහත්මියද මේ සඳහා ඇතුළත් විය.

පුද්ගල ජාවාරමට එරෙහිව සටන් අධීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේ අරමුදල් සහය ඇතිව, සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින්, තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සහ ‘Save the Children’ සංවිධානය ඇතුළු තවත් සිවිල් සමාජ සංවිධාන හතරක සහාය ඇතිව මෙම තුන් අවුරුදු ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක කරයි.