ගිලෙමින් තිබූ යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනී

අගෝස්තු 19, 2022

දකුණු මුහුදු තීරයේදී අනතුරකට පත්ව ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබූ ධීවර යාත්‍රාවක සිටි මෙරට ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

'දිලීෂ පුතා II' නැමැති මෙම බහු දින ධීවර යාත්‍රාව ගිලෙමින් තිබු අතර එහි සිටි ධීවරයින් හය දෙනෙකු පමණ මුදාගෙන ට්‍රෝලර් යාත්‍රාවක් මගින් අද (අගෝස්තු 19) උදෑසන තංගල්ල ධීවර වරායෙන් ගොඩබිම වෙත රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය සඳහන් කළේය.

මෙම ධීවර යාත්‍රාව කුඩාවැල්ල ධීවර වරායෙන් මෙම සතිය මුලදී (16) මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇති අතර මහුද මැදදී නෞකාවක ගැටී අනතුරකට පතව ඇත.

යාත්‍රාවේ හිමිකරු විසින් මේ බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමෙන් පසු වෙරළාක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදුකල දැනුම්දීමට වහාම ප්‍රතිචාර දක්වමින් නාවික හමුදා මූලස්ථානයේ සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ආපදාවට ලක්ව ඇති ධීවර යාත්‍රාවක් පිළිබඳව විමසිලිමත් වන ලෙස එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරනු ලබන නෞකා වෙත ආපදා සංඥාවක් යවා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් විසින් අනතුරට ලක්ව තිබු ධීවර යාත්‍රාව දෙවුන්දරට නාවික සැතපුම් 18.5 ක් (කිලෝමීටර් 34) පමණ දුරින් දකුණු මුහුදේ තිබියදී සොයාගෙන ධීවරයින් හය දෙනා ආරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් පසුව ඔවුන් තංගල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කරන ලදී.