රටේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මාධ්‍ය සමඟ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ

අගෝස්තු 19, 2022
  • ‘ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය’ සම්මන්ත්‍රණයේදී ආරක්ෂක ලේකම් ඉල්ලා සිටියි

රටේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මාධ්‍ය සමඟ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවසීය.

ආරක්ෂක අංශ ප්‍රකාශකයින් සහ ජනමාධ්‍ය අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය තහවුරු කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ සැබෑ ප්‍රතිරූපය සාමාන්‍ය ජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය මාධ්‍යයක් බව ඔහු ‘ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේදී මාධ්‍ය හා හමුදා නිලධාරීන් අමතමින් පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා යන මහත්වරු මේ සඳහා එක්ව සිටින ලදී.

ජාතික ආරක්‍ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය අතර බැඳීම් යකඩ දාමයක පුරුක් මෙන් රටක අත්‍යවශ්‍ය සංයෝගයක් බව ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හතරවැනි ඊළාම් යුද්ධයේ ජයග්‍රහණය සඳහා ජන මාධ්‍යයේ අතිමහත් දායකත්වය පිලිබඳ සඳහන් කළ ඔහු, තරුණයින් හමුදාවට බැඳීම පිලිබඳ තීරණාත්මක අවධියක මාධ්‍ය ඥානාන්විතව හැසිරවීම සහ ඔවුන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීම පිළිබඳව සිහිපත් කළ අතර එය ජනතාව අතර යුද ජයග්‍රාහී හැඟීමක් ඇති කළ බවද සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් තුළ යුද ජයග්‍රාහී ප්‍රවේගය ඇති කළේ ජන මාධ්‍ය විසින් බවට කිසිදු සැකයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

විවිධ තනතුරු දරන මාධ්‍ය සම්බන්ධීකරණය කරන හමුදා සාමාජිකයන් ජනමාධ්‍ය සමඟ විශ්වාසය ගොඩනගා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අතීතයෙන් පාඩම් ඉගෙන ගනු ඇති බවට ඔහු විශ්වාස කරන බවද පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදා පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කොට් ප්‍රදේශයේදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද 49 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පිලිබඳ සඳහන් කරමින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ශෝක වූ අයුරු සිහිපත් කල ඔහු, ම්ලේච්ඡ ඝාතන ඇතුළු මෑතකාලීන අරගලයේදී රට තුළ සිදු වූ ඛේදනීය සිදුවීම් මාලාව පිළිබඳව වාර්තාකිරීමේදී ඇතැම් මාධ්‍ය වල හැසිරීමද විමසිය යුතු බවට සිහිපත් කළේය.

ප්‍රචණ්ඩකාරී මැර කණ්ඩායම් විසින් දේශපාලනඥයන්ගේ පෞද්ගලික නිවාසවලට ගිනි තැබීමේ සිදුවීම් පිලිබඳ සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ නීතිය ඉක්මවා කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවයි.

1989 කැරැල්ල සහ මෑතදී රට තුළ ඇති වූ කැළඹිලි සිදුවීම් කිහිපයක් සිහිපත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සභාව අමතමින් අවධාරණය කළේ නිරායුධ අහිංසක ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කිරීමේදී ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සියලු දෙනා ඉදිරිපත් විය යුතු බවයි.

සම්මන්ත්‍රණයෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ පැවති සංවාදය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ද එක්විය.