ගිනි නිවීම සඳහා ගුවන් සහ නාවික හමුදා එක්වේ

අගෝස්තු 27, 2022

කෙරවලපිටිය මුතුරාජවෙල තෙත්බිම් රක්ෂිතයේ සහ වත්තල පුබුදුගම ප්‍රදේශයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය ලබා දෙන ලදී.

කෙරවලපිටිය මුතුරාජවෙල තෙත්බිම් රක්ෂිතයේ හටගත් දරුණු ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් ඊයේ (අගෝස්තු 27) ලීටර් 980 ක බම්බි බාල්දියකින් සමන්විත බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවා ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි අංක 4 බලඝණයේ හෙලිකොප්ටරය, ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයන් කඩිනමින් මෙහෙයුම සඳහා යොදවන  ලදී.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මගින් නිකුත් කළ ආපදා සංඥාවකට අනුව අගෝස්තු 26 වන දින වත්තල, පුබුදුගම වගුරු බිමට ආසන්න ලඳු කැලෑවක හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා ගිනි නිවන කණ්ඩායම් තුනක් යොදවා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

බටහිර නාවික විධානයට අයත් ගිනි නිවන රථ දෙකක් සහ ජල බවුසර් තුනක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, රංගල සහ කැලණි යන ආයතනයන්ගෙන් ගිනි නිවන කණ්ඩායම් 3ක් ගිනි නිවීම සඳහා යොදවා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.