ගුවන් හමුදා වර්ණ රාත්‍රිය ආරක්ෂක ලේකම්ගේ ප්‍රදානත්වයෙන්

අගෝස්තු 27, 2022

ගුවන් හමුදා වර්ණ රාත්‍රිය ඊයේ (අගෝස්තු 27) රත්මලාන අත්තිඩිය ‘Eagle’s Lagoon´ උත්සව ශාලාවේ දී පැවැත්වුණු අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

2018 සිට 2021 දක්වා කාලය තුළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ජයග්‍රහණ, දක්ෂතා සහ කුසලතා ඇගයීම සඳහා මෙම වර්ණ රාත්‍රිය සංවිධානය කර තිබුණි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, වර්ණලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වර්ණ ප්‍රධානොත්සවයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඇගයීමට ලක් කරන ලදී.

රැස්ව සිටි පිරිස අමතමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ ක්‍රීඩාව හමුදා ජීවිතයේ අනිවාර්ය අංගයක් වන අතර එය අපට බොහෝ කුසලතා තිබීමේ වැදගත්කම, කණ්ඩායමක් ලෙස එකට වැඩ කරන ආකාරය, නීතිරීති අනුව කටයුතු කිරීම, චරිතය ගොඩනගාගැනීම ජයග්‍රහණය සහ පරාජය පිළිගැනීම සහ නොපසුබට උත්සාහය ආදිය අපට උගන්වන බවයි.

තවද, ක්‍රීඩාවේ සුහදත්වය, සටන් කිරීමට ඇති කැමැත්ත සහ විපත්තිවලදී අවබෝධකරගැනීමේ ස්වභාවය වැඩිදියුණු කරන බව ජෙනරල් ගුණරත්න අවධාරණය කල අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ක්‍රීඩාවේ විශිෂ්ඨත්වයට පත්වීමේ අපේක්ෂාවන් දැඩි කැපවීමකින්, අඛණ්ඩ පුහුණුවකින්, කණ්ඩායම් හැඟීමෙන්, ඉහල විනයකින් සහ පුද්ගලික පරිත්‍යාගයෙන් තොරව ඉටුකර ගත නොහැකි බවයි.

වසංගත තත්ත්වය ඇතුළු විවිධ අභියෝග මධ්‍යයේ අඛණ්ඩව විශිෂ්ඨ ලෙස කටයුතු කිරීම තුළින් ඔප්පු වන්නේ, විඳදරාගැනීම තුළින් සාර්ථකත්වය යන ගුණාංගය ඔබ සියලු දෙනා විසින් මුළුමනින්ම ප්‍රගුණ කර ඇති බවත්, දුෂ්කර කාලවලදී ඉවසීමෙන් කටයුතු කර අවසානයේ ඔබ ක්‍රීඩාවේ ඉහළම සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවද ආරක්ෂක ලේකම් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එක් එක් ක්‍රීඩාවේ කළමනාකරණ කමිටු සහ පුහුණුකරුවන්ගේ කාර්යභාරය ද ඇගයීමට ලක් කළ ජෙනරල් ගුණරත්න ක්‍රීඩා පිටියේ ජයග්‍රහණ ලබන සන්දර්භය තුළ එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පමණක් කීර්තියක් අත්කර ගත නොහැකි අතර ඔවුන් පිටුපස කණ්ඩායමක් සිටින බැවින් එම පුද්ගලයන්ගේ උත්සාහය, කැපකිරීම් සහ නිහඬ දයකත්වය ද අගය කළේය.

තවද පසුගිය කාලය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව ද මෙහිදී ඔහු සිහිපත් කළේය.

සියළුම වර්ණලාභීන්ට සහ විශේෂ සම්මානලාභීන්ගේ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ජෙනරල් ගුණරත්න, ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය නංවාලීමට කැප වූ ක්‍රීඩා සභාවේ සෑම අයෙක්ටම සිය කෘතඥතාව පළ කළේය.

ගුවන් හමුදාවට සහ අපගේ ආදරණීය මාතෘභූමියට කීර්තියක් ගෙන ඒම සඳහා ඉදිරි පරම්පරාවේ ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමේ කාර්යය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිගටම කරගෙන යනු ඇති බවට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම් වැඩිදුරටත් සඳහන් කළේය.