යාපනයේ අඩු අදායම්ලාභී පවුලක් වෙත යුද හමුදා දයකත්වයෙන් නව නිවසක්

අගෝස්තු 28, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනයේ පුලෝලි ප්‍රදේශයේ පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස, නිවස ප්‍රතිලාභීන් වෙත භාරදීම යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඊයේ (අගෝස්තු 27) සිදු කල අතර යාපනය ප්‍රදේශයේ පරිත්‍යාගශීලීයෙකු වන විශ් නටරාජා මහතා විසින් නිවස ඉදිකිරිම සඳහා මූල්‍යමය අනුග්‍රහකත්ව ලබා දී ඇත.

55 වන සේනාංකය යටතේ ඇති 551 බලසේනාවේ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් මෙම නිවස ඉදිකිරීම සඳහා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය ලබා දුන් බව යුද හමුදාව පවසයි.

නිවස භාරදීමේ උත්සවයේදී, නිවාසලාභීන් වන තංගරාසා ධර්මරාණි මහත්මිය, ඇයගේ සැමියා වන කුමාරකුලසිංහම් ප්‍රශාන්තන් මහතා සහ ඔවුන්ගේ පුතුන් වෙත සංකේතාත්මකව නව නිවසේ යතුරු සහ මුදල් පරිත්‍යාගයක් ලබා දුන් බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

2009 වර්ෂයට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන්ගේ ලෙස කටයුතු කළ මෙම නිවාසලාභී ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම බරපතල තුවාල ලබා සුවය ලැබීමෙන් පසු පුනරුත්ථාපනය වි ඇත. වර්තමානයේ ඔහු කොන්ක්‍රීට් නිෂ්පාදනය කරන ස්ථානයක කම්කරුවෙක් ලෙස සේවය කරයි.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් තිදෙනෙකුට දැනට විදේශගතව ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ආචාර්ය පියසේන ගමගේ මහතාගේ අනුග්‍රහය යටතේ, මාසිකව රුපියල් 5000/= ක ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකල බව යුද හමුදාව තහවුරු කළේය.