නාවික හමුදා සහන කණ්ඩායම් හදිසි අවස්ථාවන් සඳහා සූදානමින්

සැප්තැම්බර් 01, 2022

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාව ආරම්භවීමත් සමඟ හදිසි ගංවතුර සහ නායයෑම් අනතුරු ඇඟවීම් සඳහා බලධාරීන් විසින් කාලගුණික උපදෙස් නිකුත් කර තිබේ.

හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඊයේ (අගෝස්තු 31) සවස වන විට සහන කණ්ඩායම් 35ක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත මෙම සහන කණ්ඩායම් සූදානම් කර ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් සහන කණ්ඩායම් 26ක් කළුතර, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවල ස්ථානගත කිරීම සඳහා සූදානම්ව සිටින අතර දකුණු නාවික විධානයට අයත් කණ්ඩායම් 09ක් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල යෙදවීම සඳහා සූදානම් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම සහන කණ්ඩායම් යෙදවීමට නියමිත බවද එහි සඳහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 කට අධික වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.