කුඩා ගඟ ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

සැප්තැම්බර් 01, 2022

පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කුඩාගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ හැකියාවක් ඇති බව ගංවතුර අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (අගෝස්තු 31) සවස් වන විට කළු ගඟේ කුඩා ගංගා උප ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

දැනට පවතින වර්ෂාපතන තත්ත්වය සහ කුඩාගඟ ජල මාපක වල ජල මට්ටම් විශ්ලේෂණය කරමින් එම ප්‍රදේශවාසීන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා ධාවනය වන වාහන රියදුරන්ගෙන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස එම පණිවුඩයේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.