පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව
නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකියි

සැප්තැම්බර් 03, 2022


-    ජනපති අවධාරණය කරයි.

  • මාධ්‍ය සහ පොලිසිය අතර ඇති මිත්‍රත්වය මෙම සැමරුම් උළෙලේ දී කැපී පෙනුණා.

පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බව අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම ආයතන දෙක ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බව අවධාරණය කළේය.

රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් අද (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.

පොලිස් උත්තමාචාර පිළිගන්වමින් එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

රාජකාරියේ යෙදී සිටිය දී මිය ගිය ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් “ජනාධිපති පොලිස් වීරතා පදක්කම” පිරිනැමීම සහ පාර්ලිමේන්තු ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්  අගයමින් සංකේතාත්මකව නිලධාරීන් 30 දෙනෙකු සඳහා ප්‍රණාම සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

පොලිස් වෙබ් අඩවිය සහ “ඊ නිවුස්” පුවත්පත එළිදැක්වීම ද සිදු කෙරුණු අතර පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් මිලියන 100ක මුදලක් අභිනවයෙන් ස්ථාපනය කෙරෙන “නීති සහන අරමුදල” සඳහා පිරිනමමින් අදාළ චෙක්පත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පොලිස් බටහිර තූර්ය වාදන සංදර්ශනයකින් සහ නිළ සුනඛ සංදර්ශනයකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම් ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතු බවයි. එදා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් රටේ ප්‍රජාතන්තවාදය අවසන් වනවා සේම නීතියේ ආධිපත්‍යය ද උල්ලංඝනය වන බව ජනාධිපතිවරයා පැවසීය.

එම අවස්ථාවේ නීතියේ ආධිපත්‍යයත්, ව්‍යවස්ථාවත් ආරක්ෂා කළේ පොලීසිය බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද පැවසීය.

මාධ්‍ය කෙතරම් පොලිසියට චෝදනා කළ ද, තමන්ගේ ඡායාරූපකරුවන්ට පහර දුන්නා යැයි පැවසුවා ද,  එම කණ්ඩායම් දෙක අතර ඇති මිත්‍රත්වය මෙම සැමරුම් උළලේදී තමන්ට දක්නට ලැබුණු බව ද ජනාධිපතිවරයා කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි යන මහත්වරු සහ රටවල් රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර පොලීසියට අයත්  නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය - ජනාධිපති මාධ්‍ය අංශය