සේවා මුක්ත සාමාජිකයින් සඳහා ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක්
පිහිටුවීමට සැලසුම් කරනවා - ආරක්‍ෂක ලේකම්

සැප්තැම්බර් 04, 2022

ආරක්‍ෂක මූලස්ථාන පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සඳහා ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (සැප් 4) පැවසීය.

ඒ අනුව පර්චස් 175ක ඉඩමක් මේ සඳහා වෙන් කර ඇති බවත්, ඒ සඳහා රජයේ මුදල් භාවිත නොකරන බවත් ඔහු සඳහන් කළේය.

අද අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ 78 වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ දේශනය අතරතුර, ආරක්ෂක ලේකම්වරයා විසින් දශක තුනක් පුරා පැවති සටනේදී මියගිය සහ ආබාධිත රණවිරුවන් මාතෘභූමිය සුරැකීමට සිදු කළ උදාර සේවාවන් ද සිහිපත් කලේය.

පසුගිය කාලයේ සිදු කල අයුරින්ම වත්මන් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමත් සමඟම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සහ එහි සේවාවන් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කලේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් තරුණ සෙබළුන්ගේ උදාර සේවය හෑල්ලුවට පත් කරන ආකාරයේ නින්දිත වීඩියෝ දර්ශන ප්‍රචාරණය කිරීම කණගාටුවට කරුණක් බව මෑතකාලීන අරගලයන් සහ විරෝධතා ගැන සඳහන් කරමින් ඔහු පැවසීය.

එබැවින් තරුණ සෙබළුන්ට තම යුතුකම ඉටුකර මාතෘභූමිය සුරැකීම සඳහා දිරිගන්වන ලෙස ඔහු හිටපු හමුදා සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ගෞරවාන්විත සේවා පදක්කම සාමාජිකයින් කිහිප දෙනෙකු වෙත මෙම උත්සවයේදී ප්‍රදානය කරන ලද අතර ඔහු විසින් රචනා කරන ලද පොත් කිහිපයක් ද සේවා මුක්ත භට සංගමය වෙත භාර දෙන ලදී.

සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් සම්ප්‍රදායික තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. තෝරාගත් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් සඳහා යාවජීව සාමාජිකත්වය පිරිනැමීම ද සිදු විය.

පසුගිය කාල සීමාව තුළ සිදු වූ වැඩිදියුණු කිරීම් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ප්‍රගති වාර්තාව ද එම සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා විසින් ආරාධිතයන් වෙත පිළිගන්වන ලදී.

වර්ණවත් සංවත්සර සැමරුම අතරතුර විනෝදාස්වාද සැසියක් පැවැත්විණි.

1944 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අද වන විට අනුබද්ධ සන්නද්ධ හමුදා සංගම් 48 ක සාමාජිකයින් 45,000 කට අධික සංඛ්‍යාවක් සමඟ කැපී පෙනෙන ස්ථානයක් දක්වා වර්ධනය වී ඇත.

උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් ස්තුති කතාව පවත්වන ලදී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික), ශ්‍රී ලංකා කාන්තා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකාවන් සහ සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.