මුතුරාජවෙල ගිනි නිවූ ඔපරේෂන් බම්බි බකට්
සැප්තැම්බර් 11, 2022ටානියා මෝසස්
දිවා රෑ නොබලා කළ දින දෙකක මෙහෙයුමක්
ගුවන් හමුදාවේ විශේෂිත ගිනි නිවීමේ පුහුණු වෘත්තිකයෝ 410ක්
මුතුරාජවෙල ගිනි ගත්තේය. ඒ පසුගිය 25 වැනිදාය. ගින්න හටගත්තේ වගුර මැදය. යම් පිපිරීමක් සහිතව හටගත් ගින්න වගුර මැද්දේ බුර බුරා නැඟෙන්නට විය. වගුර මැද සිට පැතිරුණු තුනී පස් ස්තරය මත සරුවට වැඩී තිබුණු මානා පඳුරු යටින් ගින්න ඇවිළෙමින් තිබිණි.
මුතුරාවෙල සීමාවට අයත් පුබුදුගම ප්‍රදේශයේ සිට පැතිරුණු ගින්න ව්‍යසනයක් වන ලකුණු පහළ වූයේය. ගින්න හටගත් ප්‍රදේශයේ උතුරු සීමාව ලිට්රෝ ගෑස් ගබඩාව සහිත ගෑස් පර්යන්තයය.
දකුණු සීමාව ජනාවාස සහිත ප්‍රදේශයකි. එක් අන්තයක් කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ය. පැතිරෙන ගින්න නිවීම සඳහා ගොඩබිමින් කළ හැකි මෙහෙයුම බෙහෙවින්ම සීමිතය.
ගින්න නීරීක්ෂණය කරන ඩ්‍රෝන යානා එහි වේගවත් පැතිරීම මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තය වෙත ඇදෙන ආකාරය වාර්තා කරන්නේය. නැගෙන දැවැන්ත දුම් කඳ අධිවේගී මාර්ගයේ මීටර සීයයක පමණ තීරයක් අවහිර කර තිබිණි.
ගිනි නිවීම සඳහා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකයත්, නාවික හමුදාවේ ගිනි නිවීමේ ඒකකයත්, ගිනි නිවීමේ හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එක් වී ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළේය.
ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටරයකට සවිකළ ‘බම්බි බකට්‘ එ්කක ආධාරයෙන් විශාල ජල ප්‍රවාහ අහසේ සිට මුදා හැරිණි. ඒ ගින්න නිවී ගියේ පුරා දින දෙකක් දිවා රෑ නොබලා කළ මෙහෙයුමකිනි. ඒ මෙහෙයුමේදී ගුවන් හමුදාව පාර්ශ්වයෙන් විශාල කාර්යයක් ඉටු වූවේය. බම්බි බකට් මෙහෙයුම ස්වරූපය ජනතාවට දැකගන්නට ලැබිණි.
මේ ව්‍යසනය මැඬීම සඳහා ගුවන් හමුදා ගිනි නිවීමේ අංශයෙන් භූමියේ සිට මෙහෙයුම් කටයුතු කළ ප්‍රධාන නිලධාරියා වූයේ ජූඩ් රණසිංහ. ගින්න පැතිරෙන භූමියේ ගිනි නිවීම කළමනාකරණය ඔහුට බාර වී තිබිණි.
“මේ වගේ ගින්නකදී අපි ගුවන් හමුදාව ලෙස කරන්නෙ විශේෂ ආධාරක සේවා සහ පහසුකම් සැපයීම. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා අපට වගේම නාවික හමුදා ගිනි නිවීමේ ඒකකයටත් මුතුරාජවෙල ගින්න ගැන දැනුම් දීලා තිබුණා. භූමියේ මෙහෙයුම් බාරව හිටියෙ මම.
ගින්නක් ඇතිවෙනකොට එය හටගත් මූලය සොයාගෙන ගින්නේ ස්වරූපය අනුව ගිනි නිවන මාධ්‍යය තෝරා ගැනීම සිදු කළ යුතුයි. ගින්න හටගන්නෙ වගුරු බිම මැද. ගොඩබිම සිට කරන්න පුළුවන් දේ සීමිතයි. ඩ්‍රෝන යානා යවලා ගින්නේ පැතිරීමේ ස්වරූපය සම්බන්ධවත් ගින්න හටගෙන ඇති ආකාරය ගැනත් අපට යම් මූලික අදහසක් ගන්න පුළුවන් වුණා.
ගින්න පැතිරෙන භූමියේ උතුරු මායිමේ තියෙන්නෙ ගම්මානයක්. දකුණෙන් ලිට්රෝ ගෑස් ප්ලාන්ට් එක සහ ගබඩා සංකීර්ණය. අනික් පැත්තෙන් හයිවේ එක. බටහිර පැත්තෙන් නැවතත් ජනාවාසයකට සීමා වෙනවා. ෆයර් ෆයිටින්වලදි අපි සමහර දේවල් තක්සේරු කරලා අත්හැරලා දානවා. ඩ්‍රෝන් එකක් යවලා තමයි අදහසක් ගන්නෙ.
මම හිටියෙ ග්‍රවුන්ඩ් එකේ. ඒක සාමූහික උත්සාහයක්. බම්බි බකට් ඔපරේෂන් එකට අපි ඩ්‍රෝන් එකෙන් තමයි චෙක් කරලා දෙන්නෙ. ගිනි නිවීමේ මෙහෙයුමක් කරද්දි මුලින්ම එතෙන්ට යන ප්‍රධානියා කරන්න ඕන තියෙන අවදානම තක්සේරු කරගන්න එක.
අවදානම තක්සේරු කරලා බලන්න ඕන අපි ගාව තියන සම්පත් මොනවද කියලා. කොහොමද ඒ සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කරගන්නෙ කියලා.
ඒක තමයි ඉන්සිඩන්ට් කමාන්ඩර්ගේ රෝල් එක. අපි ගාව තියන සම්පත් මදිනම් උපකාර ගෙන්වා ගන්න ඕන. ඒ වෙලාවෙ අපි දැකපු දේ තමයි අපට ගොඩබිම ඉඳන් කරන්න පුළුවන් දේ සීමිතයි කියන එක. ඒ අනුවයි ගුවනින් ගිනි නිවීමේ මෙහෙයුමක් සම්බන්ධව තීරණය කළේ. ඒ අනුව බෙල් 412 එකකින් තමයි බම්බි බකට් මෙහෙයුම කළේ.“ ඔහු දීර්ඝ විස්තරයකට සැරසෙයි.
බම්බි බකට් එකක් යනු ගුවනින් ගිනි නිවීමේ දී භාවිත කරන විශාල ජල භාජනයකි. ලීටර සිය ගණනක ධාරිතාවක් සහිත මෙම ජල භාජනය හෙලිකොප්ටර් යානයකට බාහිරින් සවි කළ හැකිය. එය හෙලිකොප්ටරයේ සිට ගින්නට පාලනය සඳහා තීරුවක් විසුරුවා හැරිය හැකි සේ සකස් කර ඇති නියමු පාලිත කපාටයක් සහිත භාජනයකි.
ඇමරිකා එක්සත් ජනපදයේ බොයිස්හි සුප්‍රකට ගිනි නිවන හමුදා මධ්‍යස්ථානයේ අවන්හලක සේවය කළ වේටර්වරියකගේ නමින් මෙම භාජනය ‘බම්බි‘ ලෙස නම් කර ඇත්තේ යම් ප්‍රවාදයකට අනුව බව කියැවේ. මේ වන විට ලෝකයේ රටවල් 110ක් ගිනි නිවීමේ කටයුතු සඳහාත් ඉඩම් හා වනාන්තර කළමනාකරණය සඳහාත් බම්බි බකට් භාවිත කරයි.
ජූඩ්ට අනුව මුතුරාජවෙල ගින්න නිවීම සඳහා බම්බි බකට් යොදා ගන්නේ දකුණු දෙසට පැතිරෙමින් එල්.පී. ගෑස් ගබඩාව ආක්‍රමණය කිරීමට සැරසෙන ගින්න පාලනය කරගැනීම මුල් කරගෙනය. එමෙන්ම නිවාස පන්තිය ආරක්ෂා කරගැනීමට ඉලක්කය විය. උතුරු සහ දකුණු මායිම් ඔස්සේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් වූයේය.
"ඩ්‍රෝන මෙහෙයවන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ ඩ්‍රෝන්වලින් තමයි ගින්න ගැන තොරතුරු ගත්තෙ. ඩ්‍රෝන් එක බලනකොට ගින්න ඉතාම වේගයෙන් පැතිරෙනවා. ඒක හින්දා තමයි බම්බි බකට් ඔපරේෂන් එක කළේ. ඒ වගේම බම්බි බකට් මෙහෙයුම සාර්ථක කරගන්න නිවැරදි දත්ත නියමුවාට දෙන්න ඕන.
ඒක කරන්න ඕන භූමියේ ඉන්න අපි ඩ්‍රෝන යානාවලින් ලබා ගන්න දත්ත විශ්ලේෂණය කරලා. ඒ වගේම සුළඟේ ස්වරූපය බලලා ජලය මුදා හැරිය යුතු ස්ථාන සම්බන්ධව සංවාදයක් නියමුවා එක්ක ඇති කරගන්න ඕන. බම්බි බකට් ඔපරේෂන් එකෙන් ගින්න පාලනය වෙනකොට විශාල දුමක් මතු වෙලා අධිවේගී මාර්ගය වැහුණා. පැයට කිලෝමීටර සීයක පමණ වේගයෙන් එන වාහන. එතැන විශාල අනතුරක් වෙන්න පුළුවන් ඉඩක් නිර්මාණය වුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් නිලධාරීවරයා එතන භූමියේ හිටියා. අධිවේගී මාර්ගයේ ගමනාගමනය සීමා කළා. නාවික හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවන හමුදාව එකතු වුණා. අපි කළේ ඒකාබද්ධ මෙහෙයුමක්.“ ඔහු අපට කිවේය.
ගින්න ඇති වී දිනකට පසු එනම් පසුගිය 26 වැනිදා සවස කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණි අංක 04 බලගණයට අයත් බෙල් 412 හෙළිකොප්ටරයට සවිකර තිබූ බම්බි බකට් එකේ ධාරිතාව ලීටර් 980 කි. යානය ගුවනේ සිට මෙහෙයුම් වාර 22ක් කරමින් ජල ලීටර 21, 560 ක් මුදාහැර තිබිණි.
ගෘෘප් කපිතාන් සංජය විතාන ගුවන් හමුදාවේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරීවරයාය.
"මුතුරාජවෙල ගින්න ගැන මුලින්ම අපි දැනුම්වත් කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්. අපෙන් ආධාර ඉල්ලා තිබ්බා. කොළඹ තිබුණ අපේ ෆයර් වෙහිකල් යැවුවා මූලිකව. ඒක වගුරු බිමක් මැද ගිනි ගන්නෙ.
අපේ ගිනි නිවන රථවලට එතන ගින්න පාලනය කරන්න බැරි බව තේරුණා. මෙහෙම ගින්නක් ඇතිවුණාම එය පාලනය කරන්න අමාරුයි. ගින්න නිවීම සඳහා ගින්න පැතිරෙන කේන්ද්‍රය ඉලක්ක කරගෙනයි ගිනි නිවීමේ මාධ්‍ය යොදන්න ඕන. නමුත් අපට වගුර මැද්දට ළඟා වෙන්න බෑ. මෙතැනදී මුහුණ දුන්නෙ ඒ අර්බුදයට. මොකද ගින්න පැතිරෙමින් තිබුණෙ ගෑස් සමාගම ගබඩා පර්යන්ත දෙසට.
ඒ වගේම ගින්නෙ ස්වරූපය අපට එක්වරම හඳුනගන්න බෑ. පඳුරු යටින් ගින්න ඇතිවෙන්නෙ. දුම ගියාට ගින්න තියන තැන හොයාගන්න අමාරු වුණා. රෑ දවල් දවස් දෙකක් ගියා ගින්න නිවාගන්න.“ ගෘෘප් කපිතාන්වරයා කියන්නේය.
මුතුරාජවෙල වගුර ආශ්‍රිතව මීට කලින්ද ගුවන් හමුදාව විසින් ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ගුවන් හමුදාව සතුව සිටින විශේෂිත ගිනි නිවීමේ පුහුණු වෘත්තිකයෝ 410ක් වෙති.
ඔවුන් පුහුණු කිරීම සඳහා වෘත්තීය පුහුණු පාසලක් වේ. ඉහළම තාක්ෂණය සහිත ගිනි නිවීමේ රථ ඇතුළු ගිනි නිවීමේ රථ 45ක් ගුවන් හමුදාව සතුය. ගුවන් පථයක් සහිත සෑම ප්‍රධාන ගුවන් කඳවුරකම විශේෂිත ගිනි නිවීමේ ඒකකයක් ස්ථාපිත වී ඇත.
ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය ආරම්භ වන්නේ ගුවන් හමුදාවේ ආරම්භයත් සමඟිනි. ගුවන් යානා ගුවන්ගත කිරීමට නම් අනිවාර්යයෙන් ගිනි ආරක්ෂාව ධාවන පථයේ තිබිය යුතුය.
දැනට ගුවන් හමුදාවේ ගිනි නිවීමේ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා බලලත් නිලධාරී එස්.එම්. දෙණියගේය.
“ ගිනි නිවීම සම්බන්ධව අප ලබපු අතිශයින්ම අමාරු අත්දැකීම තමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් තෙල් සංස්ථාවෙ තෙල් ටැංකි ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරය. දින කීපයක් දිවා රෑ නැතිව වෙහෙසිලා තමයි ඒ ගින්න මැඬ පවත්වන්න හැකි වුණේ. ඒක අපට අත්දකින්න නොලැබුණු ඉතිහාසයක්. 1995 ඔක්තෝම්බර් 20 තමයි කොලොන්නාවට එල්.ටී.ටී.ඊ ප්‍රහාරය එල්ල වුණේ.
දැනට මගෙ සේවා කාලය අවරුදු 21යි. 2001 දී ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්නෙ. 2003 සිට 2009 වෙනතුරු ගුවන් හමුදාවෙ ගිනි නිවීමේ ඒකකයක් තිබුණා. ඒ කාලයේ තිබුණු ව්‍යසන තත්ත්වයත් එක්ක බොහෝ ගිනි නිවීම්වලට සහභාගී වුණා. මුතුරාජවෙලටත් 2007 ප්‍රහාරයක් එල්ල වුණා. එල්ටීටී ප්‍රහාරත් එක්ක කොළඹ ගොඩනැඟිලිවල ඇතිවූ ගිනි ගැනීම් මෙහෙයුම් කටයුතු කළ ප්‍රධාන කණ්ඩායමේ මමත් හිටියා.
මේ වන විටත් මාසයක් තුළ අපේ අවට ගිනි නිවීමේ කාර්යයන් කීපයකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. මේ අවුරුද්දෙ මෙහෙයුම් පහළොවකට විතර සම්බන්ධ වුණා දැනට.“
සෑම මොහොතකම ගිනි ගැනීම් ගැන කතා කරන රටක ගිනි නිවීම සම්බන්ධව ඇසෙන කතා කනට ප්‍රියය. මුතුරාජවෙලදී ගුවන් හමුදාව ඉකුත් සතියේ දී ක්‍රියාත්මක කළ බම්බි බකට් මෙහෙයුම ගිනි නිවීම සම්බන්ධව ආශ්වාදයක් ද ගෙන ආවේ වටිනා ස්වාභාවික පරිසර පද්ධතියක් ආරක්ෂා කරදීම නිසාය. මෙවැනි අවස්ථා රටට රැකවරණය පිළිබඳ අදහසක් ලබාදී ජීවත් වීමට ආත්ම විශ්වාසයක් ඇති කරන බව ලියා තැබිය යුතුය.
උපුටා ගැනීම - www.silumina.lk