නාවික හමුදා සංවිධානයෙන් දෘශ්‍යාබාධිතයන් සඳහා ඇස් කණ්ණාඩි

සැප්තැම්බර් 13, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා පුල්මුඩේ මූලික රෝහලේදී පැවැත්වූ අතර එහිදී ප්‍රදේශයේ වෙසෙන දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 125 කට අධික පිරිසකට කණ්ණාඩි ප්‍රදානය කිරීම සිදුවිය.  

නාවික හමුදා සමාජ සත්කාර වැඩසටහන යටතේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහයද ඇතිව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.

කණ්ණාඩි බෙදාදීම සඳහා නැගෙනහිර නාවික විධානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, අවට නාවික ආයතන සහ පුල්මුඩේ මූලික රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.  

නැගෙනහිර නාවික විධානයේ සහ පුල්මුඩේ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ප්‍රදේශවාසීන් සඳහා මූලික ප්‍රතිකාර සායනයක් ඇතුළු දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර එහිදී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක වැදගත්කම පිලිබඳ දැනුවත් කරන ලදී.

නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණි.

Sinhala.