යුද හමුදාවෙන් සහ නාවික හමුදාවෙන් කොළඹ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන හමුදාවට සහාය

සැප්තැම්බර් 28, 2022

තොටළඟ කජ්ජිමාවත්ත ප්‍රදේශයේ (කොළඹ 15 ) ඇති වූ විශාල ගින්නක් පාලනය කිරීමට යුද හමුදා භට පිරිස් නගර ගිනි නිවන ඒකකය සමඟ එක්ව සිටියහ.

යුද හමුදාව සඳහන් කළ පරිදි, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ, 14 වන සේනාංකයේ, 142 බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් ඊයේ සවස (සැප් 27) යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් තොටළඟ ප්‍රදේශයට කඩිනමින් පැමිණියහ.

නිවාස පෙළකට බලපා ඇති ගින්න පාලනය කිරීමට සිය ගණනක් වූ යුද හමුදා භට පිරිස් ගිනි නිවන ඒකකයට සහය වූ බව ද යුද හමුදාව ප්‍රකාශ කර සිටියි.

මේ අතර, ගිනි නිවීමේ කටයුතු සඳහා සහය වීම සඳහා නාවික හමුදාව ඊයේ සවස සිය ගිනි නිවන කණ්ඩායම් දෙකක් පිටත් කර යවා ඇත. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත අවශ්‍ය සහය ලබාදීමට කඩිනම් පියවර ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.