වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට ආරක්‍ෂක අංශ ප්‍රධානීන් පැමිණෙයි

සැප්තැම්බර් 28, 2022

නාවික හා ගුවන් හමුදාපතිවරුන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (සැප් 28) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

ඒ අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක යන මහත්වරුන් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා හමුවිය.

සංචාරයට පැමිණි ඉහළ නිලධාරීන් උණුසුම්ව පිළිගැනීමෙන් අනතුරුව අමාත්‍ය කාර්යාලයේදී සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍ර පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් විය.

නාවික හා ගුවන් හමුදාපතිවරුන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළහ.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිල විදේශ සංචාරය අතරතුර වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා පත් කරන ලදී.

සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන්ගේ සංචාරයන් සනිටුහන් කිරීම සඳහා පැමිණි නිලධාරීන් විසින් අමාත්‍යවරයා වෙත සමරු සිහිවටන ප්‍රදානය කිරීම ද සිදුවිය.